උත්සව සමයේ ලංකා ධීවර සංස්ථාව වාර්තාගත ආදායමක් උපයයි

Share

උත්සව සමයේ මත්ස්‍ය අලෙවිය සියයට 68 දක්වාත්, ඉන් ලද ආදායම සියයට 74 දක්වාත් ඉහළ නැංවීමට ලංකා ධීවර සංස්ථාවට හැකි වු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ලංකා ධීවර සංස්ථාව සිංහල හා දෙමළ අලුත් අවුරුදු සමය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වැඩිපුරම පාරිභෝජනය කෙරෙන මත්ස්‍ය විශේෂ 04ක් විශේෂ සහන මිලක් යටතේ අලෙවි කිරීමට තීරණය කළේය.

ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළ අතර එමගින් උත්සව සමයේ වෙළෙඳපොලේ මත්ස්‍ය මිල ගණන් ඉහළ යාම පාලනය කිරීම අරමුණ විය. සාමාන්‍යයෙන් උත්සව සමයේ ඉස්සන් කිලෝවක් රු. 1300-1800 දක්වාත්, තලපත් කිලෝව රු. 1200- 1450 දක්වාත් ඉහළයයි. එමනිසා මත්ස්‍ය මිල ගණන් ඉහල යාම පාලනය කිරීම සඳහා ලංකා ධීවර සංස්ථාව මෙම පියවර ගනු ලැබීය.

ඒ අනුව නව සහන මිල යටතේ ලින්නා මාළු කිලෝග්‍රෑම් 01ක් රු. 250, බලයා කූරියා වශයෙන් කිලෝ ග්‍රෑම් 01ක් රු. 350ක් හා කපන ලද බල කිලෝ ග්‍රෑම් 01ක් රු. 550, තලපත් කිලෝ ග්‍රෑම් 01ක් රු. 720, හා ඉස්සන් කිලෝ ග්‍රෑම් 01ක් රු. 890කටත් අලෙවි කරනු ලැබීය. මෙම සහන මිල අප්‍රේල් මාසය පුරාම ක්‍රියාත්මකය. 2018.04.05 දින සිට 18 දින දක්වා වු කාලය තුළ ලංකා ධීවර සංස්ථාව තම අලෙවි සැල්වලින් මසුන් කිලෝ ග්‍රෑම් 135,892.29ක් අලෙවි කර තිබේ. එමගින් උපයා ඇති ආදායම රු. 72,276,871.20කි. 2017 වසරේ දී උත්සව සමය තුළ මාළු කිලෝ ග්‍රෑම් 92,867.36ක් අලෙවි කරන ලද අතර එමගින් ලද ආදායම රු. 53,607,787.49කි.

ඒ අනුව මෙම වසරේ උත්සව සමයේ මත්ස්‍ය අලෙවිය සියයට 68 දක්වාත්, ඉන් ලද ආදායම සියයට 74 දක්වාත් ඉහළ නැංවීමට ලංකා ධීවර සංස්ථාවට හැකි වු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි. ඊයේ (23) අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවක දී මෙම තොරතුරු අනාවරණය විය.

Read more

Local News