පොහොර වැඩි මිලට අලෙවි කළහොත් දැඩි පියවර

Share

රජය විසින් රටේ ගොවි ජනතාව සඳහා පොහොර සහනාධාරය ලබාදෙන අතර රු. 500ක මිල යටතේ ගොවි ජනසේවා මධ්‍යස්ථාන මගින් ද, රු. 1500ක මිල යටතේ විවෘත වෙළෙඳ පොලෙන්ද පොහොර මිල දී ගැනීමට අවශ්‍ය පහසුකම් සලසා තිබේ.

2018 යල කන්නයේදී පොහොර සහනාධාර වැඩපිළි‍වෙළ යටතේ ලබාදෙන පොහොරලාභී ගොවීන් ප්‍රමාණය  705,370කි. එමෙන්ම ඒ යටතේ වගා කිරීමට අපේක්ෂිත කුඹුරු ප්‍රමාණය අක්කර 1,103,861.87කි. 2018 වසර තුළ පොහොර සහනාධාරය ලබාදීම සඳහා රජය විසින් වෙන් කර ඇති මුදල රු. මි. 32,500කි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවි නියෝජිත පිරිස් සමඟ සිදු කළ සාකච්ඡාවක දී ඔවුන් විසින් පැහැදිළි කළ කාරණයක් වුයේ ඇතැම් වෙළෙඳුන් විවෘත වෙළෙඳපොළේ පොහොර මිටියක මිල රු. 1500ක් වශයෙන් රජය දැනුම් දී තිබිය දී ඊට වඩා ඉහළ මිලකට පොහොර අලෙවි කරන බවයි.

එම කාරණය සැළකිල්ලට ගනිමින් අදහස් පළ කළ අමාත්‍යවරයා කියා සිටියේ විවෘත වෙළෙඳපොලේ පොහොර මිටියක මිල රු. 1500ට වඩා වැඩි මිලකට අලෙවි කිරීමට කටයුතු කළහොත් ඒ පිළිබඳ තොරතුරු වහාම කෘෂිකර්ම අමාත්‍යාංශයට දැනුම් දෙන ලෙසයි. ඒ අනුව එම අලෙවිකරුවන්ගේ පොහොර අලෙවි කිරීමේ බලපත්‍ර පවා අහෝසි කිරීමටත්, ඔවුන් සම්බන්ධයෙන් තදින් නීතිය ක්‍රියාත්මක කරන බවත් සඳහන් කළේය.

Read more

Local News