ලෝක හරිත දින සැමරුමට සමගාමීව රුක් රෝපණ වැඩසටහනක්

Share

ජුනි මස 08 වන දිනට යෙදී ඇති ලෝක හරිත දින සැමරුම මෙන්ම එදිනට යෙදී ඇති ලෝක සාගර දිනය යන පරිසරය හා සමගාමී දිනයන්ට අදාළ වන පරිදි  ඵලදායී පාරිසරික ක්‍රියාකාරකම් ජුනි මාසය තුළ සමස්ත දිවයිනම ආවරණය වන අයුරින් ක්‍රියාත්මක කළ බව මධ්‍යම පරිසර අධිකාරිය පවසයි.

මේ අනුව, ජුනි 8 වන දින පෙරවරුවේ රුක් රෝපණ වැඩසටහනක්, බත්තරමුල්ල ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතට සම්බන්ධ වන, අකුරේගොඩ පාර දෙසට ඉදිකරන ලද, නව මාවත දෙපස ක්‍රියාත්මක කරන ලදී. මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතාගේ හා අධ්‍යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම වැඩසටහන යටතේ මාවත දෙපස නා පැළ, කුඹුක් හා මී පැළ 200 ක් රෝපණය කිරීමට කටයුතු කරන ලදී.

ජුනි 5 වන දිනෙන් ආරම්භ වූ ලෝක පරිසර දිනය මෙන්ම ඊට සමාන්තර සෙසු ජාත්‍යන්තර දිනයන්ද පරිසර සංරක්ෂණය යන පොදු තේමාව යටතේ සැමරීමට කටයුතු කරන බවත්, අප හමුවේ තිබෙන පරිසර අභියෝග ජය ගැනීම උදෙසා සුවිශේෂි වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත්, මෙම රුක් රෝපණ වැඩසටහනේදී අදහස් දක්වමින් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති චන්ද්‍රරත්න පල්ලේගම මහතා පැවසීය.

Read more

Local News