කෙටි ආහාර හා අතුරුපස වශයෙන් වියළි පලතුරු සැකසීමේ වැඩපිළිවෙළක්

26
ශ්‍රී ලංකාවේ බෝ නොවන රෝග බහුතරයකට හේතුව ප්‍රධාන වශයෙන් ආහාර රටාවන්හි ඇතිව තිබෙන වෙනස්කම්ය. අප රටේ දිනකට පුද්ගලයින් 1000ක් පමණ මිය යන අතර ඉන් සියයට 60ක් එනම් 600ක් පමණ මිය යන්නේ බෝ නොවන රෝගවලිනි.
ඉන් අධික ලෙස සීනි සහිත කෙටි කෑම පාරිභෝජනය ඉහළ යාම නිසා දියවැඩියාව සීග්‍රයෙන් අප රටේ ඉහළ යමින් පවතින රෝගයක් බවට පත්ව ඇත.
මෙම තත්ත්වය වළක්වා ගැනීමට කෙටි ආහාර හා අතුරුපස වශයෙන් වියළි පලතුරු සැකසීමේ වැඩපිළිවෙළක් වහාම සැකසීමට පියවර ගන්නා ගන්නා ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ජාතික හදබිම අධිකාරියේ සභාපති ඉන්දික ගුරුගේ හා ජාතික ආහාර ප්‍රවර්ධන අධිකාරියේ සභාපති බුද්ධික ඉද්දමල්ගොඩ මහත්වරුන්ට උපදෙස් දුන්නේය.
දිවයිනේ පලතුරු බහුල කාලයට ඒවායින් විශාල ප්‍රමාණයක් භාවිතයට නොගෙන අපතේ යයි. එහෙත් ඇතැම් පලතුරු හිඟ කාලයට ඒවා වියළා ගැනීමෙන් පෝෂ්‍යදායි බවට හානියක් නොවන පරිදි කල් තබා ගැනීමට හැකිවන පරිදි සකස් කොට වෙලෙඳ පොළට යැවීමට හැකි වේ. මේ සඳහා යොදා ගන්නා සරළ යන්ත්‍ර මිල දී ගෙන විශේෂයෙන් ගොවි පවුල්වල කාන්තාවන්හට තම පවුලට අමතර ආදායමක් උපයාගත හැකි වැඩ පිළිවෙළක් වශයෙන් ක්‍රියාත්මක කිරීමට තමන් බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා පැවසීය.
අප රටේ බහුලව වැවෙන අඹ, කෙසෙල්, අන්නාසි, දොඩම් හා මිදි වැනි පලතුරුවලින් මෙම වියලි පලතුරු අතුරුපස සකසා ගත හැකිවේ.
එමෙන්ම ඒවා ආහාරයට ගැනීම මගින් සීනි භාවිතය අවම කළ හැකි වන අතර ඉන් රෝග වළක්වා ගැනීමට මෙන්ම සිරුරට අවශ්‍ය පෝෂණය ද ලබා ගැනීමට හැකි බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.