විෂමාචාර චෝදනා ලබූ ඖෂධ ටෙන්ඩරකරුවන් කරලියට – සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානයෙන්

Share

විවිධ විෂමාචාර චෝදනා ලබා සිටින ඖෂධ සමාගම් සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝහල් සඳහා ටෙන්ඩර ඉදිරිපත් කිරිම විධිමත් පරීක්‍ෂණයකින් පසු නතර කිරීමට සෞඛ්‍ය පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇත.
විශේෂයෙන්ම මිල අධික පිළිකා වැනි ඖෂධ සඳහා  විවිධ විෂමාචාර චෝදනා ලැබූ ඖෂධ සමාගම් ටෙන්ඩර ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබීම නිසා මෙම තීරණය ගෙන ඇත. මෙවැනි විෂමාචාර චෝදනා ලැබූ සමාගමක ඖෂධ ටෙන්ඩර ඉදිරිපත් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශය මීට පෙර තහනම් කර තිබේ. එවැනි ඖෂධ සමාගම් ද ටෙන්ඩර ඉදිරිපත් කිරිමට සැලසුම් කර ඇති බවට අනාවරණය වී තිබේ. ඇතැම් ඖෂධ සමාගම්වල ඖෂධ හේතුවෙන් මනුෂ්‍ය ජීවිතද රෝහල්වලදී ජීවිතක්ෂයට පත්ව තිබේ.
මේ අතර පිළිකා රෝගීන් සඳහා ලබා දෙන ට්‍රැබ්සු සුනැබ් නැමැති ඖෂධය සඳහා මෙවර ටෙන්ඩරකරුවන් 05 දෙනෙකු ඉදිරිපත් වී ඇත. විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනෙකුද ඇතුලත් ඇගයීම් කමිටුවක් විසින් ඉතා නිවැරදිව නෛතික ලෙස තීරණය කර අදාල ඖෂධ නිරීක්ෂණය කර සුදුසුම ටෙන්ඩරකරුට ලබා දී තිබේ. නමුත් මෙම ටෙන්ඩරය යට ගසා ඇති බවට මාධ්‍ය මගින් පල කරන වාර්තා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව ප්‍රතික්ෂේප කර ඇත.
තවද එක් ටෙන්ඩරකරුවකු ඉරානයෙන් ගෙන්වා දෙන බවට සඳහන් කර ඇති මෙම ඖෂධය පිළිබඳව ද ගැටළු පවතියි. මෙම ටෙන්ඩරකරු සතුව දැනට එන්නත් කුප්පි 150ක් ඇති බව දැනුම් දී ඇතත් එය ලංකාවට ගෙන එනු ලැබූ පිළිවෙළ පිළිබඳව සහ ගෙන ඒමේදි අනුගමනය කළ යුතු ශීතකරණ තත්වයන් අනුගමනය කලේ ද යන්න ගැටළු සහගතය. ඉරානයට ණයවර ලිපි විවෘත නොකරන නිසාත් සම්බාධක පවතින නිසාත් වන බවද සැලකිය යුතුය. මෙවැනි සුදුසුකම් නොලත්  ටෙන්ඩරකරුවන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ටෙන්ඩර සඳහා ඉදිරිපත් වීම දැඩි ලෙස අධීක්ෂණය කිරීමට නියමිතය.

Read more

Local News