රත්නපුර සමන් දේවාලය සඳහා කළුගඟ ආශ්‍රිතව අලි තොටුපලක්

Share

රත්නපුර සමන් දේවාලයේ ආගමික කටයුතු වෙනුවෙන් එක්වන අලි ඇතුන් සඳහා නව තොටුපලක් ස්ථාපිත කිරීමට සබරගමුව පළාත් සභාව කටයුතු කරන බව පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පසුගියදා සදහන් කළාය.
මෙහිදී අදහස් දැක්වූ සබරගමුව සුමන සමන් දේවාලයේ නව බස්නායක නිළමේ මිගාර ජයසුන්දර මහතා පැවසූවේ, රත්නපුර සමන් දේවාලයේ අලි දෙදෙනාට සහ මෙම දේවාලයේ පෙරහැර සඳහා සහභාගි වන අලි ඇතුන්ට ස්නානය කිරීමට නිශ්චිත ස්ථානයක් නොමැති බවය. එමෙන්ම සුමන සමන් දේවාලය අසලින් ගලායන කළුගග, අලි ඇතුන් බැසවීමට නොහැකි මට්ටමට ගැඹුරු වී ඇති බවය.
මෙහිදී අදහස් දැක්වූ සබරගමුව ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පැවසූවේ, රත්නපුර  සමන් දේවාලයේ කටයුතු වෙනුවෙන් යොදාගන්නා අලි ඇතුන් සඳහා අලි තොටුපලක් කළුගග හරස් කර කඩිනමින් සකස් කරන බවය. ඊට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන සහ තාක්ෂණික දැනුම සබරගමුව පළාත් සභාව මගින් ලබාදෙන බව ද එම මහත්මිය මෙහිදී පැවසුවාය.
එම මහත්මිය වැඩිදුරටත් පැවසූවේ, අලිතොටුපල සඳහා කළුගගේ, සමන් දේවාලය අසල වෙන්කර ඇති මීටර් 500 රක්ෂිත සීමාවට ඇතුළු වන මැණික් සහ වැලි ජාවාරම්කරුවන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට ද කටයුතු කරන බවයි.

Read more

Local News