අත්අඩංගුවට ගත් රුපියල් බිලියන 38ක කොකේන් කිලෝග්‍රෑම් 1000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රසිද්ධියේ විනාශකිරීමට පියවර

Share

පසුගිය වසර තුළ ශ්‍රී ලංකාවේදී අත්අඩංගුවට ගත් කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1000කට ආසන්න ප්‍රමාණයක් ප්‍රසිද්ධියේ විනාශ කරන ලෙස ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන නියෝග කර තිබේ.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් සියතට පැවසුවේ මේ මස තුළ මෙම මත්ද්‍රව්‍ය තොගය ප්‍රසිද්ධියේ විනාශ කිරීමට පියවර ගන්නා බවය.

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය අධිකරණ කටයුතු අවසන් වන තෙක් ගබඩා කර තැබීම සාමාන්‍ය ක්‍රියාදාමය වන නමුත් මෙවන් විශාල තොග ගබඩා කිරීමේදී පැන නගින ගැටළුවලට පිළියමක් ලෙස මෙම තොග විනාශ කිරීමට තීරණය කර තිබේ.

“මේ මාසය තුළ ප්‍රසිද්ධියේ මාධ්‍ය ඉදිරියේ මේ තොග විනාශ කිරීමට අපි කටයුතු කරනවා. පසුගිය වසර තුළ අත්අඩංගුවට ගත් කොකේන් කිලෝ 928ක් එහි අඩංගු වෙනවා” පොලිස් විශේෂ කාර්ය බලකා අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් කියා සිටියේය.

මෙලෙස විනාශ කරන මත්ද්‍රව්‍ය ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන 38ක් පමණ වෙතැයි වාර්තා වෙයි.

ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගත් කොකේන් තොගවල ගමනාන්තය ශ්‍රී ලංකාව නොවේ

අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍යවලට සිදුකරන්නේ කුමක්දැයි ජනතාව නිතර සමාජ මාධ්‍ය තුළ ප්‍රශ්න කරන ආකාරය දක්නට ලැබෙන අතර ඇතැම් අය පැවසුවේ ඒවා හොර පාරෙන් නැවත අලෙවි කරන බවය.

ශ්‍රී ලංකා රේගුවේ සංඛ්‍යාලේඛන අනුව 2016 ජනවාරි මාසයේ සිට (රට තුළට ගෙන ඒමට තැත් කළ අවස්ථාවන්හිදී) රේගුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ කොකේන් ප්‍රමාණය කිලෝග්‍රෑම් 1232කි. ඒ කාලපරිච්ඡේදය තුළ රේගුව අත්අඩංගුවට ගත් හෙරොයින් මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 16කි.

ඊට අමතරව රේගුවට මගහැරුණු පසුව පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මත්ද්‍රව්‍ය තොග ද තිබේ. පසුගියදා සතොස ගබඩා පරිශ්‍රයේදී අත්අඩංගුවට ගත් කොකේන් කිලෝ 218 රේගුවේ ඉහත සංඛ්‍යාලේඛනවලට ඇතුළත් නොවේ.

මෙලෙස රට තුළට පැමිණි කොකේන් මත්ද්‍රව්‍ය බහුතරයක් ශ්‍රී ලංකාව තුළට පැමිණියේ බ්‍රසීලයෙනි. ඒ බ්‍රසීලයෙන් ආනයනය කළ සීනි සමගය.

කොකේන් මත්ද්‍රව්‍ය බහුතරයක් ශ්‍රී ලංකාවට පැමිණියේ සීනි සමගය
කොකේන් මත්ද්‍රව්‍ය බහුතරයක් ශ්‍රී ලංකාවට පැමිණියේ සීනි සමගය
ශ්‍රී ලංකා රේගුවේ මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පවසන පරිදි මෙලෙස අත්අඩංගුවට ගත් කොකේන් තොගවල ගමනාන්තය ශ්‍රී ලංකාව නොවේ.

“අපිට තියෙන තොරතුරු අනුව මෙතරම් කොකේන් ප්‍රමාණයක් ලංකාවේ පරිහරණයට අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේක එතරම් විශාල ප්‍රමාණයක්.” යැයි ඔහු පැවසීය.

බ්‍රසීලයේ සිට ගෙන එනු ලබන මෙම මත්ද්‍රව්‍ය පෘතුගාලයට ගෙනයාමේ අරමුණින් ගෙනවිත් ඇති බව‍ට තොරතුරු හෙළිවී ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

කොළඹ වාරයේදී අත්අඩංගුවට ගැනුණු ඇත් දළ 359ක තොගයක් ද මීට පෙර කොළඹ ගාලු මුවදොර පිටියේදී ප්‍රසිද්ධියේ විනාශ කිරීමට කටයුතු කළ අතර එලෙස ඇත් දළ විනාශ කළ ‘පළමු දකුණු ආසියානු රට” බවට ශ්‍රී ලංකාව පත්විය.

Read more

Local News