යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ කටයුතු සාර්ථකව සිදු වෙයි – වී අලෙවි මණ්ඩලය වී මෙ.ටො. 978 ක් මිලදී ගනියි

Share

පසුගිය අගෝස්තු 04 දින උහන කොහොඹාන ගම්මානයෙන් ආරම්භ කරන ලද යල කන්නයේ වී අස්වනු මිලදී ගැනීමේ කටයුතු ඉතා සාර්ථකව මේ වන විට සිදු කෙරෙන බව වී අලෙවි මණ්ඩලය පවසයි.

ඒ අනුව පසුගිය දින දෙක තුළ පමණක් වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගනු ලැබූ වී ප්‍රමාණය මෙ.ටො. 978 කි.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ උපදෙස් පරිදි 2018 යල කන්නයේ වී මිලදී ගැනීම සඳහා රජය විසින් රු.මි.4900 ක මුදල් ප්‍රතිපාදන වෙන් කර තිබේ. සම්බා වී කී.ග්‍රෑ. 01ක් රු.41ක් සහ නාඩු වී කි.ග්‍රෑ.01ක් රු.38ක් වශයෙන් සහතික මිලකට රජය විසින් ගොවීන්ගෙන් වී මිලදී ගනු ලබයි. වී අලෙවි මණ්ඩලය මඟින් වී මිලදී ගැනීම ආරම්භ කරන ලද හෙයින් මේවනවිට ගොවීන් සතු වී තොග, රජයේ සහතික මිලට වඩා රු.10ක් වැඩියෙන් පුද්ගලික අංශය විසින් මිලදී ගන්නා බව වාර්තා වී ඇත. ඒ අනුව වී ගොවීන්ට තම අස්වනු සඳහා ඉහළ මිලක් මෙවර යල කන්නයේ දී ලබා ගැනීමේ අවස්ථාව ලැබී තිබේ.

කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන පරිදි මෙවර යල කන්නයේ අපේක්ෂිත වී ප්‍රමාණය මෙ.ටො.මිලියන 1.4 කි. ඉන් මෙ.ටො. 1,20,000ක් වී අලෙවි මණ්ඩලය විසින් මිලදී ගැනීමට නියමිතය.

Read more

Local News