පාසල් ක්‍රිකට් නංවන ක්‍රියාන්විතයේ තවත් සුවිශේෂී වැඩසටහනක් අරඹයි

Share

ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩකයින් සහ පුහුණුකරුවන්ගේ සම්පත් දායකත්වයෙන් පාසල් ක්‍රිකට් ක්‍රීඩා හැකියා සංවර්ධන වැඩසටහන ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ට බාර දී එම කටයුතු සාර්ථකව කරගෙන යාමට අවශ්‍ය සහය ලබාදීම දේශපාලන නායකත්වයේ කාර්යභාරය බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහත පවසයි.

දිවයින පුරා විසිරී සිටින ක්‍රිකට් ක්‍රීඩාවට දක්ෂතා සහ හැකියාවන් සහිත පාසල් දරුවන්ගේ දක්ෂතා ජාතික මට්ටමට සුදුසු පරිදි නිර්මාණය කිරීම අරමුණු කරගනිමින් පාසල් ක්‍රිකට් ක්‍රීඩා සංවර්ධනය වෙනුවෙන් විශේෂ වැඩසටහනක් සකස්කර ක්‍රියාත්මක කිරීමට පියවර ගත් බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුවේ, අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ දී පැවති පාසල් ක්‍රිකට් පුහුණුකරුවන් හා පාසල් ක්‍රිකට් ක්‍රීඩකයින් සඳහා සංවිධානය කර තිබූ ක්‍රිකට් ක්‍රීඩා හැකියා සංවර්ධන පුහුණු වැඩසටහනට එක්වෙමිනි.

අධ්‍යාපන අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ, ක්ෂේත්‍රයේ ප්‍රවීනයන්ට වගකීම් බාර දී ඔවුන්ට එම කටයුතු සාර්ථකව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පහසුකම් සම්පාදනය කර දීම දේශපාලන නායකත්වයේ කාර්යභාරය බැවින් පාසල් ක්‍රිකට් ඉහළ නැංවීම වෙනුවෙන් සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමටත් එය ක්‍රියාත්මක කිරීමටත් ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රවීනයන් සම්බන්ධ කරගත් බවයි. එසේම මේ සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත්වීම පිළිබඳව තම කෘතවේදිත්වය ද අමාත්‍යවරයා ඔවුන් වෙනුවෙන් පළ කළේය.

මෙම වැඩසටහන සංවිධානය කර තිබුණේ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මගපෙන්වීම අනුව ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයින්, ක්‍රිකට් පුහුණුකරුවන් සහ උපදේශකවරුන්, ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමයේ නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ නිලධාරීන්ගෙන් සමින්විතව පිහිටුවන ලද කමිටුව විසින් සකස්කරන ලද පාසල් ක්‍රිකට් ජාතික මෙහෙයුම් සැලැස්ම 2018-2020 මගින් ඉදිරිපත් කර තිබූ යෝජනා ද සැලකිල්ලට ගනිමිනි.

Read more

Local News