අයහපත් කාලගුණය නිසා ආපදාවට පත් කුරුණෑගල, කළුතර ජනතාවට කඩිනම් සහන

Share

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඊයේ (14) සහ අද (15) දිනවලදී කුරුණෑගල හා කළුතර දිස්ත්‍රික්කයන් සඳහා බලපෑ සුළං තත්ත්වය හේතුවෙන් ආපදාවට පත්වූවන්ට කඩිනමින් සහන සැලසීමට අවශ්‍ය කටයුතු මේ වන විට ක්‍රියාත්මක කොට ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒ අනුව ආපදා කළමනාකරණ අමාත්‍යවරයාගේ නියෝගය පරිදි දිස්ත්‍රික් ලේකම්වරයාගේ හා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන නිලධාරීන් ත්‍රිවිධ හමුදා සහාය ඇතිව අවශ්‍ය සහන සැලසීම මේ වන විට ආරම්භ කර තිබේ.
පවතින කාලගුණ තත්ත්වය නිසා තම නිවාස අවට ඇති අවදානම් ගස්වල අතු කපා දැමීමට කටයුතු කරන ලෙසත් පොදු ස්ථානවල ඇති එවන් අවධානම් ගස් සම්බන්ධයෙන් ක්ෂණික දුරකථන අංක 117 අමතා දැනුම්දීමට කටයුතු කරන ලෙසත් ආපදා කළමනාකරණ අමාත්‍යංශය ජනතාවගෙන් ඉල්ලා සිටී.
අද උදෑසන හමා ගිය සුළං තත්ත්වයක් හේතුවෙන් කුරුණෑගල වීරඹුගෙදර ප්‍රදේශයේ නිවාස 80කට පමණ අර්ධ හානි සිදුවීම් වාර්තාව වන අතරම ඊයේ දිනයේත් කුරුණෑගල නිවාස 15කට හා ගොඩනැගිලි 11කට අර්ධ හානි වාර්තා වී තිබේ.
එමෙන් ම කළුතර දිස්ත්‍රික්කයේ ද සුළං තත්ත්වය හේතුවෙන් නිවාස හානි කිහිපයක් වාර්තා වී ඇත.

Read more

Local News