ට්‍රාන්ස්කෙම් නමින් ස්ථානීය පාංශු පර්යේෂණ විශේෂ කට්ටලයක් හඳුන්වා දෙයි

Share

පස් විශ්ලේෂණ කට්ටල ආධාරයෙන් ස්ථානීය පොහොර නිර්දේශ කිරීමේ ක්‍රියාවලිය ගොවීන් නිවැරදිව ක්‍රියාත්මක කරන්නේ නම් දැනට බහුල වශයෙන් සිදු කරන අධික රසායනික පොහොර පසට යෙදීම සියයට 50 කින් අඩු කළ හැකි බව විද්වත් වාර්තාවක් පෙන්වා දෙයි.

මෙම විද්වත් වාර්තාව පසුගියදා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත බාර දෙනු ලැබීය. මේ වනවිට අප රටේ සියලුම ප්‍රදේශවල පස්වල සංයුතිය පරීක්ෂාවට ලක් කර තිබේ. එම පර්යේෂණ අනුව අපේ රටේ බොහෝ ප්‍රදේශවල ඇති පස්වල අඩංගු පොස්පරස් හා පොටෑසියම් ප්‍රතිශතය ඉහළ මට්ටමක පවතී. එහෙත් තවමත් අපේ රටේ ගොවීන් අධික ලෙස රසායනික පොහොර යොදන්නේ ඒ පිළිබඳ නිසි අවබෝධයක් නැති නිසා බව රටේ පාංශු සංයුතිය පිළිබඳ පර්යේෂණයකින් අනාවරණය වී තිබේ.

පස් පරීක්ෂා කර පෝෂක ද්‍රව්‍ය පසට යෙදීම පැරණි ක්‍රමයක් වුවත් ඊට අධික ලෙස වියදම් වන බැවින් පහසුවෙන් උපයෝගි කර ගත හැකි වන පරිදි ට්‍රාන්ස්කෙම් නමින් ස්ථානීය පාංශු පරීක්ෂණ කට්ටලය හඳුන්වා දී තිබේ.

තිරසාර බෝග නිෂ්පාදනයන් සඳහා පාංශු පරීක්ෂණ කට්ටලයක් හඳුන්වා දීමට කාලයක සිට ගන්නොරුව, බතලගොඩ, මහඉලුප්පල්ලම, බණ්ඩාරවෙළ හා මාකඳුර වැනි ගොවි පර්යේෂණායතන විසින් පරීක්ෂණ සිදු කරනු ලැබීය. මෙම ට්‍රාන්ස්කෙම් ස්ථානීය පස් පරීක්ෂණ කට්ටලය හඳුන්වා දීමට අපේ විද්වතුන් සමත්ව ඇත්තේ එම පර්යේෂණ නිසාය.

මෙම පර්යේෂණ වාර්තාව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ස්ථානීය පාංශු පර්යේෂණ කට්ටලයේ නිර්මාතෘ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ජාතික උපදේශක ඩී. එන්. සිරිසේන මහතා විසින් සිදු කරනු ලැබීය.

Read more

Local News