ශ්‍රාවස්තිපුර සිද්ධිය පිළිබඳව වහාම පරීක්ෂණයක් ආරම්භ කරන්න – අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා

Share

පුවත්පත්වල ඊය‌ේ දින (23) ඵළවු ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානය ආසන්නයේ සිදුවීමට ගොස් ඇතැයි කියන දුම්රිය අනතුර පිළිබඳව විශේෂ පරීක්ෂණයක් වහාම පවත්වන ලෙස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්.අබේවික්‍රම මහතාට අද පෙරවරුවේ උපදෙස් දෙන ලදී.

ඒ අනුව නියෝජ්‍ය දුම්රිය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) ඒ.ඩී.ජී සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් මගින් මේ වන විට සිද්ධියට අදාළ යාල්දේවී දුම්රියේ රියදුරු හා නියාමක, තලෙයිමන්නාරම් දුම්රියේ රියදුරු හා නියාමක, ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානාධිපතිවරයා, සංඥාකරු හා අනුරාධපුර දුම්රිය සංඥා පාලකවරයාගෙන් ප්‍රකාශ ලබාගනිමින් සිටින බව දුම්රිය සාමාන්‍යාධිකාරී එස්.එම්.අබේවික්‍රම මහතා අමාත්‍යවරයාට දන්වා ඇත.

මෙම සම්පූර්ණ පරීක්ෂණය සතියක් ඇතුළත නිම කොට සිද්ධියට අදාළ යම් කෙනෙක් වැරදිකරුවෙක් වුවහොත් විනයානූකූලව දඬුවම් කරන ලෙසට අමාත්‍යවරයා දුම්රිය සාමාන්‍යාධීකාරීවරයාට උපදෙස් ලබා දී ඇත. මේ අතර අමාත්‍යවරයා පවසන්නේ නිතර නිතර සිදුවන මෙවැනි අවාසනාවන්ත සිද්ධීන් නිසා දුම්රිය පිළිබඳව ජනතාව අතර පවතින විශ්වාසය නැතිවන බවයි. එය ගොඩනගා ගැනීම සඳහා දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා ඇතුළු සියලුම නිළධාරීන් මේ මොහොතේ එකට එක්ව කටයුතු කළ යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කරයි.

Read more

Local News