කැපවීමෙන් සේවය කරන ලංගම සේවකයින්ගේ වැටුප් වැඩි කරනවා

Share

විවිධ අවස්ථාවල සිදුවු වැඩ වර්ජනවලදී රට තුළ ප්‍රවාහන සේවාව අඩපණවීමට නොදී රැකගැනීමට කැපවීමෙන් කටයුතු කළ ලංකා ගමනාගමන මණ්ඩලයේ සියලුම සේවකයින්ගේ වැටුප් සාධාරණ ලෙස වැඩි කළ යුතු බවත්, මෙය කිසිසේත් වෘත්තිය සමිතිවල තර්ජවලවලට හෝ බලපෑම් නිසා සිදු නොකරන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මෙම කරුණ හෙළි කළේ අගෝස්තු 30 දින ලංකා ගමනාගමන මණ්ඩලයේ පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමකදීය. මෙම රැස්වීමේදී හෙළි වු කරුණු අනුව වසර 60 කට පෙර ආරම්භ කරන ලද ලංකා ගමනාගමන මණ්ඩලය වර්තමානයේ දිනකට රුපියල් මිලියන 100 ක පමණ ආදායමක් උපයනු ලබයි.

මෙම ආදායම් ඉපයීම සඳහා 6100 කින් යුතු බස්රථ ඇණියක් යොදා ඇති අතර රියදුරු, කොන්දොස්තර, ලිපිකරු, කාර්මිකයින් සහ විධායක ශ්‍රේණියේ නිළධාරීන් ඇතුළු 30463 ක සේවකයින් පිරිසකගේ සේවය ලබා දෙනු ලබයි. දිවයින පුරා පිහිටි ප්‍රධාන ඩිපෝ 107 ක් හා උප ඩිපෝ 13 ක් මගින් මෙම මගී ප්‍රවාහන සේවය ලබා දෙයි. වාර්තා අනුව මෙම ඩිපෝවලින් 90 % කට ආසන්න ප්‍රමාණයක් ලාභ ලබන ආයතන බවට පත්වී ඇති බවත්, පසුගිය 2017 වසරේ මෙහෙයුම් ලාභය (Oපෙරටිඔන් ඵ්‍රොෆිට්) රු.මි. 1618 වු අතර, 2018 වසරේදී එය රු.මි.2000 ක් දක්වා වැඩි කිරීමට ශ්‍රී ලංගමය විසින් සැලසුම් කර ඇති බවද ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති රමාල් සිරිවර්ධන මහතා මෙහිදී අමාත්‍යවරයාට පැවසීය.

එමෙන්ම අතිරික්තව සිටි සේවකයින් 4000 ට ආසන්න සේවක සංඛ්‍යාවක් ස්වේච්ඡා වන්දි ක්‍රමයක් යටතේ විශ්‍රාම ගැන්වීමත්, ලංකා ගමනාගමන මණ්ඩලයට නොතිබූ බඳවා ගැනීමේ පටිපාටියක්, අවශ්‍ය කාර්යය මණ්ඩල වාර්තාවක් හා උසස්වීමේ ක්‍රමවේදයක්ද මේ වන විට සකසා ඇති බැව් පැවසූ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වසර 25 කට පමණ පසුව ලංකා ගමනාගමන මණ්ඩලයේ නියම ගමන් මාර්ගයක් අනුව පරිපාලන කටයුතු සිදු කරන බවද පැවසීය.

එමෙන්ම වර්තමාන ප්‍රවාහන අමාත්‍යවරයා ලෙස ලංකා ගමනාගමන මණ්ඩලයට කිසිදු සේවකයෙකු දේශපාලන වශයෙන් බඳවා ගෙන නොමැති බවද පසුගිය කාල පරිච්ඡේදයන් තුළ විවධ දේශපාලන බලපෑම් මත බඳවා ගැනීම් සිදු කළ බැවින් ආදායම් අඩුවී, ආර්ථික පරිහානියකට පත්වු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම වැටුප් වැඩිවීම පිළිබඳව මේ වන විට අදාළ ආයතන හා කැබිනට් මණ්ඩලය සමග සාකච්ඡා කර ඇති බවද මෙම වසර අවසානයේදී කිසිදු කලක ලබා නොදුන් රුපියල් 10000 ක ප්‍රසාද දීමනාවක්ද ලබා දීමට කටයුතු කරන බවත්, එබැවින් ලංගම ආරක්ෂා කර ගැනීම සභාපතිතුමා ඇතුළු සියලු සේවකයින්ගේ වගකීම බවත් අමාත්‍යවරයා පැවසීය.

Read more

Local News