දුම්රිය මැදිරි මිලදී ගැනීම සඳහා ගිවිසුම් අත්සන් කෙරේ

Share

දුම්රිය සේවාව පවත්වාගෙන යාම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුවට විශාල අඩුපාඩුවක්ව පැවති දුම්රිය මැදිරි 250 ක පමණ අවශ්‍යතාවය මගහරවාගැනීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පියවරගෙන ඇත.

ඒ අනුව ඉන්දියානු සහන ණය ව්‍යාපෘතිය (Indian credit line) යටතේ දුම්රිය මැදිරි 160 ක් ලබාගැනීමට කටයුතු කර ඇත.

මෙම මිලදී ගැනීම සඳහා වු ගිවිසුම ඊයේ (07) දින ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් ජී.එස්.විතානගේ මහතා සහ එම දුම්රිය මැදිරි ඉදිකිරීම් ආයතනය වන ඉන්දියානු Right සමාගමේ තාක්ෂනික අධ්‍යක්ෂ මලික් රතෝර් (Director Technical – Mr.Malik Rathore) මහතා විසින් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේදී අත්සන් කරන ලදි.

මෙම සමස්ථ දුම්රිය මැදිරි 160 මිලදී ගැනීම සඳහා ඇ.ඩො.මි. 82.6 ක් වැයවනු ඇත. ශ්‍රී ලංකාවේ දුම්රිය සංවර්ධන කටයුතු සඳහා ඉන්දියාව විසින් ලබාදී ඇති ඉන්දියානු ණය සහන ව්‍යාපෘතිය මගින් මේ සඳහා ප්‍රතිපාදන ලබාදෙනු ඇත.

මෙම දුම්රිය මැදිරි 160 ට ආසන 90 ක් සහිත 3 වන පන්තියේ මැදිරි 41, ආසන 64 ක් සහිත 2 වන පන්තියේ මැදිරි 41, ආසන 50 ක් සහිත 3 වන පන්තියේ නියාමක මැදිරිය සහිත මැදිරි 17ක්, ආසන 38 ක් සහිත 2වන පන්තියේ නියාමක මැදිරි 08 ක්, ආසන 58 ක් සහිත භෝජනාගාර මැදිරි 13ක්, ආසන 50 ක් සහිත වායු සමනය කරන ලද මැදිරි 35 ක් සහ පාර්සල් භාණ්ඩ ප්‍රවාහනය සඳහා මැදිරි 05 ක් අයත් වේ.

මෙම වායු සමනය කරන ලද මැදිරි තුළ නවීන තාක්ෂණයෙන් යුතු ශ්‍රව්‍ය දෘශ්‍ය පහසුකම් සහිතව මගීන්ට අවශ්‍ය GPS තාක්ෂණයද, භෝජනාගාරය ඇතුළත මගීන්ට අවශ්‍ය මයික්‍රෝ උදුන්ද සවිකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

Read more

Local News