ජාතික ඕසෝන් දින සැමරුම් උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

Share

මිහිතලයේත්, ජීවින්ගේත් පැවැත්ම තහවුරු කිරීම සඳහා සොබාදහම විසින් කරන ලද අපූරු නිර්මාණයක් වන ඕසෝන් වියන ආරක්ෂා කර ගැනීම සඳහා සියලුදෙනා වගකීම් ඉටුකළ යුතු බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (17) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවති ජාතික ඕසෝන් දින සැමරුම් උත්සවය අමතමිනි.

ඊයේ දිනට යෙදී තිබූ ජාත්‍යන්තර ඕසෝන් දිනය හා මොන්ටි‍්‍රයල් සන්ධානයේ 31 වන සංවත්සරයට සමගාමීව මෙය සංවිධානය කර තිබුණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ඕසෝන් වියන ආරක්ෂා කර ගැනීම සඳහා මොන්ටි‍්‍රයල් එකඟතාවය, වියානා එකඟතාවය යන සියලු ජාත්‍යන්තර එකඟතාවයන් සහ ප‍්‍රඥප්තින් වෙනුවෙන් ශ‍්‍රී ලංකාව කැපව සිටින බවයි.

මිනිසා ප‍්‍රමුඛ සියලු සත්වයා සහ ගහ, කොළ, ඇළ, දොළ ඇතුළු සියලු ස්වභාවික සම්පත් රැක ගැනීමේ ප‍්‍රධාන වගකීම දැරිය යුත්තේ මිනිසා විසින්ම බව ද මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා දැඩි පරිසර හානියක් හරහා මිනිසා විසින්ම මිනිසා විනාශ කරමින් සිටින බව අද පරිසර විද්‍යාඥයින් අනතුරු අගවා තිබෙන බව ද කියා සිටියේය.

අපේ රටේ ඉදිකිරීම් පිළිබඳ ප‍්‍රතිපත්තියක් නොමැතිවීම ද දැඩි පරිසර හානියකට හේතුවී තිබෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයේ එකඟතාවයෙන් කි‍්‍රයාත්මක වන ජාතික ඉදිකිරීම් ප‍්‍රතිපත්තියක කඩිනම් අවශ්‍යතාවය මතුව තිබෙන බව ද කියා සිටියේය.

Read more

Local News