වියළි කාළගුණයෙන් පීඩාවට පත් ජනතාවට ජනපති උපදෙස් මත කඩිනම්ව නියං සහනාධාර

Share

දිවයිනේ දිස්ති‍්‍රක්ක රැසකට බලපා ඇති දැඩි වියළි කාළගුණය හේතුවෙන් පීඩාවට පත්වූ ජනතාවට සහන සැලසීමේ කටයුතු ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත මේ වන විට කඩිනම්ව කි‍්‍රයාවට නංවා තිබේ.

ජනාධිපතිතුමා, අග‍්‍රාමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යවරයා සාකච්ඡා කර මෙම සහන කටයුතු වෙනුවෙන් රුපියල් මිලියන 9000 ක මුදලක් වෙන් කිරීමට කටයුතු කර ඇත.

වියළි කාළගුණයෙන් මේ වන විට උතුරු මැද පළාතේ පුද්ගලයන් හාරලක්ෂ විසිදහසක් පමණ දැඩි පීඩාවට පත්ව සිටින අතර ඔවුන්ට අවශ්‍ය පානීය ජලය, වියළි ආහාර ඇතුළු සෙසු සහන සැලසිම සඳහා ති‍්‍රවිධ හමුදාවේ දායකත්වය ලබාගෙන තිබේ. අමාත්‍ය මණ්ඩල තීරණය පරිදි එම සහන කටයුතු වෙනුවෙන් මසකට වෙන්කර ඇති මුදල රුපියල් මිලියන 2000 කි. එම සමස්ත මුදල දිස්ති‍්‍රක් ලේකම්වරයා වෙත නිදහස් කිරීමට මේ වන විට කටයුතු කර තිබේ.

සහනාධාර ලබාදීමේ වැඩසටහන අද සහ හෙට දිනවලද කි‍්‍රයාත්මක ය. සමූපකාර හරහා සහනාධාර ලබාදීම සිදු කෙරෙන අතර වියළි ආහාර මල්ලක් සති දෙකින් දෙකට ලබාදීම සිදු කෙරෙයි.

එමෙන්ම දැඩි වියළි කාලගුණය හමුවේ ජනතාව මුහුණදී ඇති ගැටළු පිළිබඳ කඩිනම් අවධානය යොමුකර සහන සැලසීමට කටයුතු කරන ලෙස ජනාධිපතිතුමා අදාළ සියලු අංශ දැනුවත් කර තිබේ.

මේ අතර නියඟයෙන් පීඩාවට පත් ජනතාවට පහසුකම් සැළසීමට එක්වන්නැයි සියලු මාධ්‍ය ආයතනවලින් ද ජනාධිපතිතුමා ඉල්ලීමක් කරයි.

Read more

Local News