තහනම් කරන ලද පොලිතීන් නිෂ්පාදන ආහාර දවටන තොගයක් අත්අඩංගුවට

Share

මධ්‍යම පරිසර අධිකාරිය වෙත ලැබුණු තොරතුරකට අනුව 26 දින ක්‍රියාත්මක වූ වැටලීම් අංශයේ නිලධාරීන් විසින් හෝකන්දර පොලිස් බල ප්‍රදේශයේ පවත්වාගෙන යන ලද තහනම් ආහාර දවටන නිෂ්පාදනය කරන කර්මාන්තායතනයක වැටලීමක් සිදු කර තිබේ.

පරිසර දූෂණයට ප්‍රබල ලෙසින් හේතුපාදක වන පොලිතීන් නිෂ්පාදන කීපයක් 2017 වර්ෂයේ සැප්තැම්බර් මස 01 වනදා පටන් තහනමට ලක් කළ අතර, මේ වන විට පරිසර හිතකාමී නිෂ්පාදන වෙළෙඳපොලවල් කරා පැමිණෙමින් පවතී.

එසේ වුවත් කූට ව්‍යාපාරික පන්තියක් විසින් වැඩි ලාභ අපේක්ෂාවෙන් තවදුරටත් මෙම තහනම් පොලිතීන් වර්ග නිෂ්පාදනය කරමින් අලෙවි කිරීමට කටයුතු කරන අවස්ථා ද වාර්තා වෙමින් පවතී. මධ්‍යම පරිසර අධිකාරියත්, පාරිභෝගික සේවා අධිකාරියත් සමග පරිසර පොලිස් ඒකකය ඒකාබද්ධව තවදුරටත් තහනම් පොලිතීන් නිෂ්පාදනය කරන්නන්, බෙදාහරින්නන් සහ අලෙවිකරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා වැටලීම් කටයුතු කරනු ලබයි.

මෙම ආයතනය අඩු ඝනත්වයකින් යුත් පොලිඑතිලින් (LDPE) ෂොපින් බෑග් නිෂ්පාදනයට හා ග්‍රොසරි බැග් නිෂ්පාදනය සඳහා පමණක් පරිසර ආරක්ෂණ බලපත්‍රය ලබාගෙන ඇති බවත්, නමුත් එහිදි ඔවුන් විසින් වැඩි ඝනත්වයෙන් යුත් පොලිඑතිලින් (HDPE) වර්ගයේ තහනම් කරන ලද නිෂ්පාදනයන් ද සිදුකරන බවත්, විමර්ශන කණ්ඩායම විසින් අනාවරණය කරගන්නා ලදී.

තවද තහනම් පොලිතීන් නිෂ්පාදනය සඳහා යොදා ගනු ලබන උපකරණ සහ අමුද්‍රව්‍ය ද එම ස්ථානයේ සිදුකරන ලද වැටලීමේ දී සොයා ගන්නා ලදී. එමෙන්ම පාරිභෝගික සේවා අධිකාරියේ වැටලීම් වල දී සනාත වූයේ එම ආයතනය විසින් විවිධ වෙළෙද නාමයන් ඔස්සේ තහනම් පොලිතීන් වෙළෙඳපොළට මුදාහරින බවයි. රුපියල් ලක්ෂ 12ක පමණ වටිනාකමකින් යුක්ත වූ මෙම තහනම් පොලිතීන් නිෂ්පාදන සියල්ලම පාරිභෝගික සේවා, අධිකාරිය මගින් අත්අඩංගුවට ගන්නා ලද අතර අදාළ කර්මාන්තකරු කඩුවෙල මහේත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලදී.

Read more

Local News