අල්ලස් ලබාගත් ධීවර පරීක්ෂකයෙක් හා ධීවරයෙක් අත්අඩංගුවට

Share

කින්නියා ප්‍රදේශයේ පුද්ගලයෙකුගෙන් ලද පැමිණිල්ලකට අනුව රුපියල් 35,000 ක මුදලක් අල්ලස් ලෙස ලබා ගත් ධීවර පරීක්ෂකවරයෙකු හා සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අල්ලස් ලබා ගැනීමේ චෝදනාව මත ත්‍රීකුණාමලය ධීවර කාර්යාලයට අනුයුක්තව සේවය කරන ධීවර පරීක්ෂකවරයෙක් සහ ප්‍රදේශයේ ධිවරයෙකු වන සිවිල් පුද්ගලයෙකු අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

බලපත්‍ර නොමැතිව සහ නීති විරෝධි ලෙස දැල් භාවිතා කරමින් ධීවර කර්මාන්තයේ යෙදී සිටියදී ත්‍රීකුණාමලය නාවික හමුදා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඒ සම්බන්ධයෙන් නීති මඟින් කටයුතු කිරීම සඳහා ත්‍රීකුණාමල ධීවර දිස්ත්‍රික්, කාර්යාලයට බාර දී ඇත.

පසුව බෝට්ටු එන්ජිම අධිකරණයට ඉක්මනීන් ඉදිරිපත් කර, ලියාපදිංචි බලපත්‍රය සාදා ගැනීමට අවශ්‍ය ලියකියවිලි සකස් කර දීම සඳහා රුපියල් 50,000 ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා තිබේ.

එම මුදලින් රුපියල් 35,000 ක මුදලක් අදාළ සිවිල් පුද්ගලයා මාර්ගයෙන් ලබා ගැනීමේ දී ත්‍රීකුණාමලය ධීවර කාර්යාලය තුළදී මෙම අත්අඩංගුව ගැනීම සිදු කර ඇත.

වැඩිදුර විමර්ශන අල්ලස් හා දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරනු ලබන අතර, විමර්ශනවලින් අනතුරුව සැකකරු ත්‍රීකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read more

Local News