අද දින කැබිනට් හමුවට විදේශ අමාත්‍ය රවී කරුණානායක නෑ

Share

සිරිත් පරිදි අඟහරුවාදා දිනවල පැවැත්වෙන කැබිනට් හමුව මේ සතියේ බදාදා දින උදෑසන ජනාධිපති කාර්යාලයේ පැවැත්වුන අතර අද (අගෝස්තු 9) ඊට විදේශ ඇමතිවරයා එක් නොවීය.

බැඳුම්කර කොමිසම හමුවේ එල්ල වූ චෝදනා නිසා ඇමති පදවියෙන් ඉල්ලා අස්වෙන ලෙස කෙරෙන දැඩි බලපෑමකට හසුව සිටින විදේශ ඇමති රවී කරුණානායක අද (අගෝස්තු 9) කැබිනට් මණ්ඩල හමුවට පැමිණ ඒ ගැන යම් ප්‍රකාශයක් කරනු ඇතැයි ඇතැම් මාධ්‍ය වාර්තා මගින් ප්‍රකාශ කරනු ලැබ තිබුනත් එවැන්නක් සිදු නොවුණි.
“රවී කරුණානායක අමාත්‍යවරයාගේ අස්වීම හෝ නොවීම පිළිබඳව එම කැබිනට් හමුවේදී සාකච්ඡා නොවූවත් නීතිපති දෙපාර්තමේන්තුව කටයුතු කරන ආකාරය ගැන එහි දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා” යැයි අමාත්‍යවරුන් කීප දෙනෙක් සියතට ප්‍රකාශ කළහ.
නීතිපති දෙපාර්තමේන්තුව බැඳුම්කර කොමිසමේ කටයුතු කරන කඩිනම් ආකාරයට පසුගිය රජය සමයේ සිදු වී යයි පැවසෙන මහා පරිමාණ වංචා හෝ දූෂණ සම්බන්ධයෙන් කටයුතු නොකිරීම ගැන කැබිනට් මණ්ඩලය සාකච්ඡා කළ බව තවත් ඇමතිවරයෙක් ප්‍රකාශ කළේය.
එම කැබිනට් සාකච්ඡාවට පෙර ඊයේ (අගෝස්තු 08) රාත්‍රියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරුන් සහ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන අතර හමුවක් පැවති අතර එම අවස්ථාවේ විදේශ ඇමති රවී කරුණානායකගේ ඉල්ලා අස්වීම පිළිබඳවද සාකච්ඡා වී ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

Read more

Local News