මුදල් අමාත්‍යංශය ප්‍රවෘත්තිය ප්‍රතික්ෂේප කරයි

Share

නීතිවිරෝධීව ඩොලර් රටින් පිටකිරීමට තැත්කළ පුද්ගලයා නිදහස් කරන්නැයි මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා රේගුවට බලපෑම් කරයි යනුවෙන් පළ වූ ප්‍රවෘත්තිය මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් ප්‍රතික්ෂේප කරයි.

මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය මේ බව පැහැදිලි කරයි. එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ,

“ශ්‍රී ලංකාවෙන් බැහැරට යන ඉරාන ජාතිකයකු සතුව තිබී ඇ.ඩො 53,455ක මුදලක් ශ්‍රී ලංකා රේගු නිලධාරීන් විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ මෑතකදී අත්අඩංගුවට ගෙන තිබිණි.

ඉරාන සමූහාණ්ඩු මුල්‍යාධාර යටතේ ක්‍රියාත්මක උමා ඔය සංවර්ධන ව්‍යාපෘතියේ සේවය කරන ඉරාන ජාතිකයන් විසින් තම මාසික වැටුප තම නිවෙස්වලට යැවීම සඳහා මෙසේ ඉරානයට යවන අවස්ථාවේ දී කටුනායක ගුවන්තොටුපොළේ රේගුව විසින් මෙම වැටලීම කර ඇති බව වාර්තා විය.

ශ්‍රී ලංකාව සහ ඉරානය අතර බැංකු හරහා මුල්‍ය ගණුදෙනු සිදු නොකරන බැවින් මෙම සේවකයන් විසින් මෙසේ මුදල් යැවීම පිළිබඳව සානුකම්පිතව සලකා බලා මෙම මුදල් නිදහස් කරන්නැයි 2018 ඔක්තෝබර් මස 03 දින ශ්‍රී ලංකාවේ සිටින ඉරාන තානාපතිවරයා විසින් මුදල් අමාත්‍යතුමාට ඉල්ලීමක් කර තිබිණි.

ඒ අනුව ශ්‍රී ලංකා රේගු ආඥාපනතේ 164 වැනි වගන්තිය අනුව මුදල් විෂය භාර අමාත්‍යවරයා වෙත පැවරී ඇති බලතල අනුව තානාපති මාර්ගයෙන් කරන ලද ඉල්ලීම පිළිබඳ සානුකම්පිතව සලකා බලා අදාළ ඇ.ඩො 53,455ක මුදල අදාළ පුද්ගලයා වෙත ආපසු භාර දෙන මෙන් මුදල් හා ආර්ථික කටයුතු අමාත්යඇ මහින්ද රාජපක්ෂ මහතා විසින් ශ්‍රී ලංකා රේගුව වෙත නියෝග කරන ලදී.

ශ්‍රී ලංකාවේ සේවය කරන ඉරාන ජාතිකයන් විසින් ඉරානයට මේ අයුරින් මුදල් රැගෙන ගිය ප්‍රථම අවස්ථාව මෙය නොවේ.

මෙයට පෙර මේ අයුරින් විදේශ මුදල් ඉරානයට රැගෙන ගිය අවස්ථාවේ දී ඉරාන ජාතික සේවකයකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දී අල්ලා ගත් විටද එවකට සිටි මුදල් අමාත්‍යවරයා විසින් ද 2018 ජූනි මස මේ අයුරින් එම මුදල් සානුකම්පිත පදනම මත නිදහස් කරන ලදී.“

Read more

Local News