පැරණි කාසි සහිත මැටි බඳුනක් අනුරාධපුරයෙන්

Share

මධ්‍යම සංස්කෘතික අරමුදලේ ජේතවන ව්‍යාපෘතිය මගින් අනුරාධපුර උච්චාවාලික රජමහ විහාරයේ සිදුකරන ලද කැණීම් හා සංරක්‍ෂණ කටයුතුවලදි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් භාණ්ඩ කිහිපයක් හමු වී තිබේ.

මෙහිදී හමු වූ සෙන්ටිමිටර 10 ක් පමණ උස රතු පැහැති මැටි බඳුනක් තුළ විවිධ සංකේත සහිත කාසි 325 ක් ද සෙන්ටිමිටර් 2 ක් දිගින් හා සෙන්ටිමිටර් 1 ක් පළලින් යුත් රෙදි කැබැල්ලක් සහ සෙන්ටිමිටර් 1 × 1.5 පමණ ප‍්‍රමාණයේ රෙදි කැබලි 2 ක් ද සොයාගෙන ඇති අතර මේ වන විට මෙම පුරාවස්තු සම්බන්ධව පර්යේෂණ කටයුතු සිදු කරමින් පවතී.

බුදු දහම මෙරටට හඳුන්වාදීමත් සමග ව්‍යාප්ත වූ විහාරාරාමවල මුල්කාලීන ලක්ෂණ සහිත මෙම විහාරස්ථානය ක්‍රි.පූ. 03 හෝ 02 වන සියවස්වලට අයත්විය හැකි යැයි අනුමාන කළ හැකි අතර, උත්තිය රජ දවස ඉදි කළ බවට විශ්වාසයක් ද පවතී. මෙම විහාරස්ථානයේ ගරාවැටුණු ස්තූපයක්, ආසන ඝරයක් හා ටැම්පිට විහාරස්ථානයකට අයත් බවට අනුමාන කළහැකි ගල් කණු සහිත ස්මාරක දක්නට ලැබේ.

ස්තූපයේ පේසාවක ලක්‍ෂණ දක්නට නොමැති අතර අඩි 2 අඟල් 11 ක් පමණ වන වේදිකාව මත ස්තූප ගර්භය නිමවා ඇත. මෙම ස්තූපයේ දකුණු දොරටුවට දකුණු පසින් වේදිකාවට ඉතා ආසන්න ව සිදු කරන ලද සංරක්‍ෂණ කටයුතුවල දී කාසි ඇතුළත් මෙම බඳුන හමු වී තිබේ.

විෂයභාර අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ උපදෙස් අනුව මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂම කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිව්‍යුහගත කිරීම් මේවන විටත් සිදු කර ඇති අතර ඒ අනුව දිවයින පුරා හඳුනාගත් පුරාවිද්‍යාත්මක ස්ථානවල සිදු කෙරෙන කැණිම් සහ සංරක්ෂණ කටයුතු මේ වන විට සාර්ථකව සිදු කරනු ලබයි.

Read more

Local News