ඒකීය රාජ්‍ය යනුවෙන් සිංහල භාෂාවෙන් ඇතුළත් වන යෙදුම ඉංග්‍රීසී කෙටුම්පතට ද යොදන්න

Share

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඒකීය රාජ්‍ය යනුවෙන් සිංහල භාෂාවෙන් ඇතුළත් වන යෙදුම ඉංග්‍රීසී කෙටුම්පතට ද එලෙසම යොදන ලෙස රජයේ උපදේශකයන් රජයට යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

ඒකීය රාජ්‍යය යන වචනය වෙනුවෙන් සඳහන් වන යුනිටරි ස්ටේට් (unitery state) යන යෙදුම දුර්වල වචනයක් ලෙස අන්තර් ජාතික වශයෙන් ද පිළිගෙන තිබීම මෙයට හේතුවයි.

ඒකීය යන සිංහල වචනයෙන් රට කිසි ලෙසකින්වත් නොබෙදිය හැකි බව මෙන්ම භූමියේ ස්වෛරිභාවය සුරැකෙන අර්ථ නිරූපණයක් ප්‍රබල ලෙස ඉදිරිපත් කෙරෙතැයි රජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥයෝ පෙන්වා දෙති.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඉංග්‍රිසි භා‍ෂාවෙන් ඇතුළත් කරන යුනිටරි ස්ටේට් යන යෙදුමේ පවතින දුර්වල බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවේ 1 හා 2 වගන්තිවලට අදාළ ගැටලු ලෙස ද දක්වා තිබේ.

යුනිටරි ස්ටේට් යන ඉංග්‍රීසි පදයේ සාම්ප්‍රදායක නිර්වචනය වෙනස්කම්වලට භාජනය වී තිබේ. උතුරු අයර්ලන්තයට සහ ස්කොට්ලන්තයට එක්සත් රාජධානියෙන් වෙන්ව යා හැකි තත්ත්වයක් වර්තමානය වන විටත් එක්සත් රාජධානියේ පවතියි.

මෙහෙයුම් කමිටු අතුරු වාර්තාවේ ඒ පිළිබඳව දක්වා ඇත්තේ මෙසේය.

“එමනිසා යුනිටරි ස්ටේට් යන ඉංග්‍රිසි පදය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් භාවිතයට සුදුසු නොවේ.”

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මේ වන විට ඇතුළත් කර තිබෙන යුනිටරි ස්ටේට් යෙදුම 18වැනි ශතවර්ෂය තරම් ඈත කාලයක භාවිතා කරන්නක් බැවින් නව ව්‍යවස්ථාවේ ඉංග්‍රීසි කෙටුම්පතට ද ඒකීය රාජ්‍ය ‍යන යෙදුම ඇතුළත් කිරීම සුදුසුම පියවර බව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥයෝ වැඩිදුරටත් දැනුම දී තිබේ.

Read more

Local News