අඹගමුවේ පොස්ටර් අැලවීම තහනම් කරයි

Share

හරිත නගර සංකල්පය යටතේ අඹගමුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ අලවා ඇති පොස්ටර්, සවි කර ඇති කටවුට් සහ බැනර් ගලවා ඉවත් කිරිමේ වැඩසටහන් අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් අද(30) ගිනිගත්හේන නගරයෙන් අාරම්භ කළේය.

නගර අලංකාර සංකල්පය යටතේ දිවයිනේ ප්‍රධාන නගර කිහිපයකම ආරම්භ කර ඇති මෙම වැඩසටහනට සමගාමිව ගිනිගත්හේන නගරයේ අලවා තිබු සියළුම පොස්ටර් ගලවා ඉවත් කිරිම, සවි කර තිබු කටවුට් සහ බැනර් ඉවත් කිරිම අඹගමුව ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් සහ එම සභාවේ සේවක සේවිකාවන්ගේ සහභාගිත්වයෙනුයි සිදු කළේය.

සංචාරක ආකර්ෂණයක් දිනා ඇති ගිනිගත්හේන නගර හරහා දෙස් විදෙස් සංචාරකයන් විශාල පිරිසක් දිනපතා ගමන් කරන අතර ශ්‍රි පාද වන්දනා සමයේද හැටන් මාර්ගය ඔස්සේ පැමිණෙන වන්දනාකරුවන් විශාල පිරසක් ගිනිගත්හේන නගරය පසු කර ගමන් ගනි.

මින් ඉදිරියට ගිනිගත්හේන නගරයේ පොස්ටර් ඇලවිමට ස්ථාන දෙකක් වෙන් කර ඇති බවත්, එම ස්ථාන වල පමණක් පොස්ටර් ඇලවිය යුතු බවත්, එසේ නොකරන අයට එරෙහිව නිතිමය ක්‍රියාමර්ග ගැනිමට අණපනත් සම්මත කරගෙන ඇති බවයි අඹගමුව ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා පැවසුවේය.

ගිනිගත්හේන නගරයෙන් අද ආරම්භ කල මෙම වැඩසටහන අඹගමුව ප්‍රාදේශිය සභා බල ප්‍රදේශයේ සියළුම නගරවල ක්‍රියාත්මක කරන බවද සභාපතිවරයා කියා සිටියේය.

ගලවා ඉවත් කෙරුණු පොස්ටර්වල වැඩි ප්‍රමාණයක් ප්‍රදේශයේ පවත්වාගෙන යන උපකාරක පන්ති වලට අදාල පොස්ටර් බවයි අඹගමුව ප්‍රාදේශිය සභාවේ ප්‍රාදේශිය සභා මන්ත්‍රිවරුන් සඳහන් කළේ.

Read more

Local News