ජනපතිගේ නිදහස් දින පණිවිඩය මෙන්න

Share

සියලු දේශපාලන පාර්ශවයන්ටත්, අපටත් ඔබ සැමටත්, තිර අදිටනින් සමඟිව දිනූ නිදහසේ සහ අරමුණු සපුරාගනු පිණිස සමඟිව පෙරට යෑමට හැකි වේවා යි මේ නිදහස් සමරු දිනයේ දී ප්‍රාර්ථනා කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අදට යෙදී තිබෙන 71 වැනි  ජාතික දින සැමරුම වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

නිදහස් දින පණිවුඩය

පුරා වසර 133ක් බ්‍රිතාන්‍ය යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව ස්වාධීන රජ්‍යයක් බවට පත් වූ දිනය හැම වසරකම පෙබරවාරි 04 මෙසේ උත්සවශ්‍රීයෙන් අනුස්මරණය කරනු  ලබයි. එහෙත් මේ මොහොතේ අප සියල්ලන්ගේ ඒකායන අරමුණ ලැබූ නිදහසේ උපරි අර්ථය සාක්ෂාත් කරගැනීම පිණිස නව දැක්මකින්, අභිනව ජවයකින් සාමූහිකව කැපවීමයි.

අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබීමෙන් දේශයක්, ජාතියක් ලෙස අප අපේක්ෂ කළේ, සියලු ආකාරවලින් ඔවුන්ගේ වියගසින් මිදුණු ස්වදේශීය අනන්‍යතාවයකින් හෙබි ආර්ථික දේශපාලනික හා සමාජ සංස්කෘතික පෙරගමනකි.

ශතවර්ෂාධික කාලයක පරාධීනත්වයෙන් අධිරජ්‍ය ගැති බවට පත් මනස්වලට දේශයේ අනාගතය බාර වීම යනු අධිරාජ්‍යවාදයට වඩා භයානක ප්‍රතිඵල අත්කර දෙන්නකි.

එහෙයින් අනාගත අභිවෘද්ධිය උදෙසා අපට අවශ්‍ය වනුයේ ස්වදේශිකත්වයෙන් ම පණ පෙවුණු අධ්‍යාත්මයන්ගෙන් යුතු ජනකායකි. අතීත රජ දවස ලොව අන්‍ය මහා ශිෂ්ඨාචාරයන් විසින් ඉටු කර ගැනුණු කාර්ය සාධනයන්, ඒ හා සමාන සාර්ථකත්වයකින් අපට ද සපුරා ගත හැකි වූයේ ඒ කිසිවකට ණය ගැති වීමෙන්  නොවේ. ස්වාධීන වීමෙනි. අපි අපේම ජාතික අනන්‍යතාවක් මුල සිටම ගොඩනඟාගත් මිනිස්සු වෙමු. එහෙයින් දේශීය ආර්ථිකයේ පදනම ලෙස කෘෂිකර්මාන්තය යළි ස්ථාපිත කළ යුතු කාලය යළි එළැඹ ඇති වග මේ අනුස්මරණීය දිනයේ මම ඔබ සැමට අවධාරණය කරනු කැමැත්තෙමි.

එසේම ජාතික පුනර්ජීවනය ඇති කිරීමේ ලා අත්‍යාවශ්‍ය වන ප්‍රගතියට එරෙහිව සිටින පොදු සතුරා වන දුගීභාවය සහ දූෂණය වහා මුලිනුපුටා දැමීමට අප සියල්ලන් එක්සිත්ව කටයුතු කළ යුතුව ඇත. අධිරාජ්‍යවාදී පාලන සමයේ සිටම ජාතික ස්වාධිනත්වය වෙනුවෙන් කැප වූ, දිවි පිදූ සියලු වීරවරයන් මේ මොහොතේ ගෞරව බහුමාන පෙරදැරි ව සිහිපත් කරන අතර වර්තමානයේ දේශයේ නිදහස, ස්වෛරීත්වය සුරක්ෂිත කිරීමට දිවි හිමියෙන් කැපවී සිටින සියලු රණවිරුවනට කෘතඥතාපූර්වකව ශුභාශිංශනය කරමි.

තවද සියලු දේශපාලන පාර්ශවයන්ටත්, අපටත් ඔබ  සැමටත්, තිර අදිටනින් සමඟිව දිනූ නිදහසේ යහ අරමුණු  සපුරාගනු පිණිස සමඟිව පෙරට යෑමට හැකි වේවා යි මේ  නිදහස් සමරු දිනයේ දී ප්‍රාර්ථනා කරනු කැමැත්තෙමි.

මෛත්‍රිපාල සිරිසේන
ජනාධිපති
2019 පෙබරවරි මස 04 වන දින

Read more

Local News