රේගු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 07 වන දිනටත්

Share

රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය යළි සේවයේ පිහිටුවන ලෙස බල කරමින් පසුගිය 30 වන දින සිට මෙම අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ආරම්භ කරනු ලැබිය.

අද (05) දිනය තුළ මෙම ගැටලුවට විසදුම් නොලැබුණහොත් ඉදිරියේ දී දැඩි ක්‍රියාමාර්ගයකට එළඹීමට සිදුවන බව රේගු මාණ්ඩලික නිලධාරීන්ගේ සංගමයේ ලේකම් විපුල මිණුවන්පිටිය මහතා පැවසීය.

අද දිනයේ පිටකොටුවේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය තොග වෙළෙඳසැල් වසා දැමීමට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සහ තොග වෙළෙඳුන්ගේ සංගමය තීරණය කර තිබේ.

මේ අතර හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය වන පී.එස්.එම්.චාර්ල්ස් මහත්මිය යළි සේවයේ පිහිටු වන බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පවසයි.

ඒ අනුව පී.එස්.එම්.චාර්ල්ස් මහත්මිය විසින් ලබා දුන් ඉල්ලා අස්වීමේ ලිපිය මුදල් අමාත්‍යාංශය මඟින් ඉවත් කර ගනු ඇති බව වාර්තා වෙයි.

මේ අතර අද (05) පස්වරුවේ පැවැත්වීමට නියමිත කැඩබිනට් තීරණ දැනුම් දිමේ මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ සාකචච්ඡා වනු ඇති බව වාර්තා වෙයි.

එමෙන්ම රේගු නිලධාරීන් ආරම්භ කර ඇති අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය අද 07 වන දිනටත් ක්‍රියාත්මක වෙයි.

රේගු නිලධාරීන් පෙන්වා දෙන්නේ සතියක කාලයක් ගත වී ඇතත් මේ දක්වාත් තම ගැටලුවට විසදුම් ලබාදීමට බලධාරින් පියවර ගෙන නොමැති බවයි.

අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රේගුවේ නිෂ්කාෂණ කටයුතු සියයට 90කින් පමණ පහත වැටී ඇති බව ද රේගු නිලධාරීන් සඳහන් කරයි.

 

Read more

Local News