දිසාවේ නිලධාරීන් දීර්ඝ කාලයක් මධුෂ් හඹා ගියා

Share

ප්‍රධාන පෙළේ අපරාධකරුවෙකු සහ මත්කුඩු ජාවාරම්කරුවෙකු වන මාකඳුරේ මධුෂ් සහ ඔහුගේ සහචරයන් අත්අඩංගුවට ගැනීම දීර්ඝ කාලයක් තිස්සේ සිදු කරන ලද ක්‍රියාවලියක අවසන් ප්‍රතිඵලය බව අමාත්‍ය සාගල රත්නායක මහතා පැවසිය.

කොළඹ වරායේ අද (07) සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් පසු මාධ්‍යයට අදහස් දක්වමින් රත්නායක මහතා මෙසේ ප්‍රකාශ කළේය.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතා යටතේ මෙම සාර්ථක මෙහෙයුම සිදු කළ දිසාව ස්ථාපිත කළේ රත්නායක මහතා නීතිය සහ සාමය අමාත්‍යධූරය දැරූ කාලය තුළ වීම විශේෂත්වයකි‍.

“මෙම දිසාව ස්ථාපිත කරන අවස්ථාවේම අපි දැනගෙන හිටියා මෙයට නායකත්වය ලබා දීමට සුදුසුම නිලධාරියා ලතීෆ් මහතා බව. ඒ නිසා ඔහුට එම තනතුර ලබා දුන්නා. ඒ වගේම මේ වගේ දරුණු අපරාධකරුවෙකු අත්අඩංගුවට ගැනීම මහත් ඉවසීමකින් වගේම අධිෂ්ඨානයකින් සිදු කළ යුතු දෙයක් බවත් අපි දැනගෙන හිටියා,” යැයි ද ඔහු සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ මෙම දිසාවේ නිලධාරීන් දීර්ඝ කාලයක් තිස්සේ මධුෂ් සහ ඔහුගේ සහචරයන් හඹා ගිය බවයි. එමෙන්ම අවස්ථා කිහිපයකදී අවසන් මොහොතේ පොලිස් දැලෙන් පැනයාමට ඔහුට හැකිවූ බව ද රත්නායක මහතා අනාවරණය කළේය.

Read more

Local News