කටුනායක ගුවන් තොටුපළට පැමිණි ඉන්දීය ගුවන් මඟියෙක් ජීවිතක්ෂයට

Share

ඉන්දියාව බලා ගමන් ගැනීමට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි එරට ගුවන් මගියෙකු අද(18) දින අලුයම එහි පිටත්වීමේ පර්යන්තය තුළ දී ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇති බවට වාර්තා වෙයි.

මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 52ක් වු ඉන්දීය ජාතිකයෙකි.

ඔහු අද අලුයම 2.00 ට පමණ ඉන්දියාව බලා පිටත්ව යෑම සඳහා කටුනායක ගුවන් තොටුපළ පිටත්වීමේ පර්යන්තය වෙත පැමිණ තිබේ.

එහිදී ඔහුට ඇති වූ කිසියම් රෝගාබාධිත තත්වයක් නිසා එහි වූ කොන්ක්‍රීට් කණුවක් බදා ගෙන ඇති අතර, පසුව ඔහු එම කණුව දිගේ රෑටා වැටෙන අන්දම ගුවන් තොටුපළ තුළ සවි කර ඇති ආරක්ෂක කැමරා දර්ශන නිරීක්ෂණය කිරීමෙන් ගුවන් තොටුපළ පොලීසිය අනාවරණය කර ගෙන තිබේ.

මෙම මරණය පිළිබඳව මේ වනවිට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය දැනුවත් කිරීමට ගුවන් තොටුපළ පොලීසිය පියවර ගෙන තිබේ.

එමෙන්ම මේ පිළිබඳව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර, මෙම මෘත දේහය මීගමුව මහ රෝහලේ මෘත ශරීරාගාරයට ඇතුළත් කර, ඉන් අනතුරුව අධිකරණයේ නියෝග මත, මේ පිළිබඳව පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට ගුවන් තොටුපළ පොලීසිය පියවර ගනිමින් සිටිති.

මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

Read more

Local News