මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව 150ක් දක්වා ඉහළට

Share

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය විසින් ඉන්දීය රජයේ සහයෝගය ඇතිව 11 වැනි වරටත් සංවිධානය කරන ලද  මහත්මා ගාන්ධි ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය ඊයේ (20) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවනාගාරයේ දී පැවැත්වුණි.

ශ්‍රී ලංකාවත් ඉන්දියාවත් අතර සහයෝගිතාවය තවදුරටත් ශක්තිමත් කරමින්, අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ඉන්දීය රජය ලබාදෙන්නා වූ සහයෝගය අගය කරන බව ද, දුෂ්කරතා සහ අභියෝග මැද ජීවිතය ජයගන්නට උත්සාහ දරන පාසල් දරුවන්ට මෙවැනි ශිෂ්‍යත්ව වැඩපිළිවෙලක් සැබෑ අත්වැලක් වන බවද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මෙහිදී සඳහන් කළේය.

ඉන්දියානු නිදහස් අරගලයේ පුරෝගාමියෙකු වන ගාන්ධිතුමා සැමරීම සඳහා මෙම මහත්මා ගාන්ධි ශිෂ්‍යත්වය ඉන්දීය රජයේ අනුග්‍රහය මත ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය මඟින් වසරක් පාසා පිරිනමනු ලබයි.

2006 වසරේ සිට ක්‍රියාවට නංවන ලද මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ එම වර්ෂයේ දී එක් දිස්ත්‍රික්කයකින් සිසුන් 4 දෙනෙක් බැගින් දිස්ත්‍රික්ක 25 සඳහා ශිෂ්‍යත්ව 100ක් ප්‍රදානය කරන ලද අතර, 2012 වසරේ සිට මෙම වැඩසටහන යටතේ ශිෂ්‍යත්ව ලබාදුන් සිසුන් සංඛ්‍යාව 150 දක්වා ඉහළ නංවනු ලැබුවේය.

එක් සිසුවකු වෙනුවෙන් මසකට රුපියල් 2500ක දීමනාවක් මේ යටතේ ලබාදීමට කටයුතු කර තිබේ.

මෙවර ද ශිෂ්‍යත්ව සඳහා තෝරාගෙන ඇති සිසුන් සංඛ්‍යාව 150ක් වන අතර, දක්ෂතා සපිරි, එහෙත් අධ්‍යාපන පහසුකම් සලසා ගැනීමට නොහැකි, විවිධ දක්ෂතා සහ කුසලතා සපිරි , අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට උසස් පෙළ හැදෑරීමට අවස්ථාව සලසා දීම මෙම ශිෂ්‍යත්ව වැඩසටහනෙහි අරමුණයි.

Read more

Local News