දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකය නීත්‍යානුකුළව විසිරෙයිද ?

Share

දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ දැනට රාජකාරී කටයුතු සිදු කරන නිලධාරින් 10 දෙනා එම කොට්ඨාෂයෙන් ස්ථාන මාරු කරන ලෙස මාතර කොට්ඨාශ බාර පොලිස් අධිකාරී ගයන්ග මාරපන මහතා පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

රත්ගම ප්‍රදේශයේ ව්‍යාපරිකයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරින් 15දෙනෙකු ස්ථාන මැරුවීම් සිදුකර තිබේ.

ඒ අනුව ඉතිරිව සිටින සෙසු නිලධාරීන් 10 දෙනාද මාතර කොට්ඨාශයෙන් වෙනත් පොලිස් කොට්ඨාශයක් වෙත ස්ථාන මාරුවීම් සිදු කරන ලෙසයි පොලිස් අධිකාරීවරයා ඉල්ලීමක් කර ඇත.

අපරාධයක් සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති මෙම නිලධාරින් තම කොට්ඨාශය තුළ කටයුතු කිරීම පිළිබඳ අකමැත්තක් දක්වන බවද පොලිස් අධිකාරීවරයා එම ලිපිය මඟින් පෙන්වා දී තිබේ.

මෙම නිලධාරින් 10 දෙනාද ස්ථාන මාරුවීම් සිදු කිරීමෙන් අනතුරුව දකුණු පළාත් විශේෂ විමර්ශන ඒකකය නීත්‍යානුකුළව විසුරුවා හැරෙන බව සඳහන්ය.

මාතර මැද්දවත්ත ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති මෙම ඒකකය තුළ නිළධාරීන් 25 දෙනෙකු රාජකාරී  කටයුතු සිදුකළ අතර පසුගියදා ඇතිවු මෙම සිද්ධියෙන් අනතුරුව නිළධාරීන් 15 දෙනෙකු ස්ථාන මාරුවීම් සිදු කළේය.

කෙසේවෙතත් මෙම නිලධාරීන්ගෙන් සිව් දෙනෙකු මේ වන විටත් සේවයට වාර්තා කර නොමැති බව පොලීස් අධිකාරීවරයා සඳහන් කළේය.

මේ පිළිබඳ පොලිස් නිලධාරීන්ගේ නිවාස වෙත දැනුවත් කිරීමේ ලිපි යවා ඇති බවද ඔහු සඳහන් කළේය.

Read more

Local News