ස්ථානාධිපති අනතුරට ලක්කර පලා යෑම සම්බන්ධයෙන් 8ක් අත්අඩංගුවට

Share

බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක් කර පලා යෑමේ සිදුවීම සම්බන්ධයෙන් අදාළ ඩිෆෙන්ඩර් රථයේ හා ප්‍රාඩෝ ජිප් රථයේ සිටි පුද්ගලයින් 8දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ අනුව WP.FZ9143 යන ඩිෆෙන්ඩර් රථයේ රියදුරු, රත්නායක මුදියන්සේලාගේ නවිදු ඔමේෂ් රත්නායක නැමති වයස අවුරුදු 27 ක් වු පොතුඅරාව, තලංගම උතුර, මාලඹේ පදිචිකරුවෙක්, රථයේ හිමිකරු ලෙස රංචිගොඩගම ආරච්චිලාගේ විසිත ශ්‍රී විජේසේකර නැමති වයස අවුරුදු 27 ක් වු ගාලුපාර, කොළඹ 3 පදිංචිකරුවෙක් අත්අඩංගුවට ගෙන ඇත.

රථයේ සිටි අනෙක් පුද්ගලයින් ලෙස රනිස්ක බංඩා අළුත්ගමගේ නැමති වයස අවුරුදු 26 ක පුද්ගලයෙක්, සේසිත රන්දීප ගුණදාස නැමති වයස අවුරුදු 28 ක පුද්ගලයෙක් හා වින්ද්‍යා විශ්වභාෂිනී වීරසිංහ නැමති වයස අවුරුදු 27 ක තරුණියක් ද ඒ අතර වෙයි.

අනතුර සිදුවන අවස්ථාවේ ඒ ආසන්නයෙන් පැමිණි NWCAX7557 නැමති ප්‍රාඩෝ ජිප් රථයේ රියදුරු හා හිමිකරු වන දුමින්ද සුදම්මික ආටිගල නැමති වයස අවුරුදු 28 ක පුද්ගලයෙක් පොලීසියට බාර වීමෙන් අනතුරුව අත්අඩංගුවට පත්ව තිබේ.

එමෙන්ම අනතුර සිදුවන අවස්ථාවේ ප්‍රාඩෝ ජිප් රථයේ සිටි කිරන් මැතිව් ද නීෂ් නැමති වයස අවුරුදු 23 ක හා හේවාගේ දුලාංජන චාමර දාබරේ නැමති වයස අවුරුදු 28 ක් වු පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් අත්අඩංගුවට පත්ව තිබේ.

සැකකරුවන් අද(25) දින අළුත් කඩේ 03 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමතයි.

බම්බලපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

යතුරුපැදියකින් කොල්ලුපිටිය පොලිස් ස්ථානය වෙත ගමන් කරමින් සිටි බොරැල්ල රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා ඊයේ(24) අලුයම 4.35ට පමණ බම්බලපිටිය ප්‍රදේශයේදී ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව තිබුණි.

අනතුරෙන් ස්ථානාධිපතිවරයා බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරුණ අතර, ඔහු මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.

Read more

Local News