තාජුදීන් මැරුණු වෙලාවේ අරලිය මැදුරෙන් වාහන 4ක් පිටවෙලා

Share

රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ සැකකරුවන් ලෙස නම් කර සිටින නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති සුමිත් පෙරේරා ,හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක සහ හිටපු කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි මහාචාර්ය ආනන්ද සමරසේකර යන අයට එරෙහිව නඩු පැවරීම සඳහා කටයුතු කරගෙන යන බව නීතිපතිවරයා අද (28) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

එම පැමිණිල්ල අද කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසිය නියෝජනය කරමින් අධිකරණය හමුවේ කරුණු දැක්වූ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ඩිලාන් රත්නායක මහතා මේ බව දැනුම් දුන්නේය.

නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේ මෙම ඝාතනයට අදාළව සියුම් අංශ කීපයක් ඔස්සේ තවදුරටත් පරීක්ෂණ සිදුකරන බවයි.

මෙම ඝාතනය සිදු වූ දින අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගිය වාහන හතරක් පිළිබඳව හා ඒවායේ ගමන් බිමන් පිළිබඳව පරීක්ෂණ සිදුකරන බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දන්වා සිටියේය.

එමෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයින් වශයෙන් කටයුතු කළ යුධ හමුදා සහ නාවික හමුදා නිලධාරීන් කීහිප දෙනෙකුගේ ගමන් බිමන් පිළිබඳව පරීක්ෂණ සිදුකරන බව කී  නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ඔවුන්ගේ ගමන් බිමන් පිළිබඳ රාජකාරි වාර්තා සොයා ගැනීමට නොහැකිවී ඇතැයිද අධිකරණට දුන්නේය.

එමෙන්ම මියගිය වසීම් තාජුදින්ගේ ලැප්ටොප් පරිගණකය සහ ජංගම දුරකථනය ඔස්සේ ද පරීක්ෂණ සිදුකළ බව කී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ඒ හරහා පරීක්ෂණවලට වැදගත් වන තොරතුරු සොයාගැනීමට නොහැකිවූ බව දැනුම් දුන්නේය.

ඊට අමතරව මරණය සිදුවූ අවස්ථාවේ මරණකරුගේ වාහනයේ ගමන් බිමන් පිළිබඳව  චන්ද්‍රිකා ඡායාරූප ඔස්සේ පරීක්ෂණ සිදුකළ ද ඉන් ද වැදගත් තොරතුරු අනාවරණය කර ගැනීමට නොහැකි වූ බව  නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා දන්වා සිටියේය.

මෙහිදී  මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා විවෘත අධිකරණයේ ප්‍රකාශ කළේ මෙම පරීක්ෂණයට අදාළ සාක්ෂි සොයා ගැනීමේ වර්ධනීය තත්වය අවම මට්ටමක පවතින බවයි.

ඒ අනුව පරීක්ෂණ කටයුතු කඩිනමින් අවසන් කරන ලෙසත් සාක්ෂි තිබේ නම් විත්තිකරුවන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට පියවර ගන්නා ලෙසත් මහේස්ත්‍රාත්වරයා පැමිණිලි පාර්ශ්වයට නියම කළේය.

අනතුරුව පැමිණිල්ල ජුනි මස 27 වනදා කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයා දින පරීක්ෂණවල ප්‍රගතිය වාර්තා කරන මෙන් නියම කළේය.

Read more

Local News