සයිටම් සිසුවියගේ පෙත්සම විභාගයට ගැනීම ලබන මස

Share

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අධිකරණයට අපහාසයක් කළේ යැයි චෝදනා කරමින් මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක විසින් ඉදිරිපත් කළ පෙත්සම අප්‍රේල් මස 03 වනදා විභාගය සඳහා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කර තිබේ.

අභියාචනාධිකරණයේ නියෝගය පරිදි තමන්ව ලියාපදිංචි නොකිරීම තුළින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අධිකරණයට අපහාසයක් කළේ යැයි මෙම සිසුවිය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරන ලදී.

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ වෛද්‍ය උපාධිධාරිනියක වන දිල්මි සූරියාරච්චි සිසුවිය විසින් ඉදිරිපත් කළ පෙත්සම අද(06) අභියාචනාධිකරණයේ වැඩබලන සභාපතිනී දීපාලි විජේසුන්දර සහ අචල වෙංගප්පුලි යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත විනිසුරු මඬුල්ල හමුවේ කැඳවනු ලැබීය.

එහිදී විනිසුරු මඬුල්ල නියම කළේ මෙම පෙත්සම පිළිබඳ විභාගය අප්‍රේල් මස 03 වනදා සිදු කරන බවය.

මෙම පෙත්සමට අදාළව මූලික විරෝධතාවක් ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බව වගඋත්තරකාර ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සාමාජිකයන් මීට පෙර අභියාචනා අධිකරණයට දැනුම් දී තිබුණි.

පෙත්සම්කාර වෛද්‍ය උපාධිධාරීනි සිසුවිය සඳහන් කර සිටින්නේ මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් තමන්ව ලියාපදිංචි කරනමෙන් අභියාචනාධිකරණය මඟින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියෝගයක් නිකුත් කළ බවය.

එම නියෝගයට අනුව කටයුතු කරමින් තමන්ට මේ දක්වා ලියාපදිංචි කිරීමට වෛද්‍ය සභාව පියවර ගෙන නොමැති බවයි පෙත්සම්කාර උපාධිධාරිණිය චෝදනා කර සිටියි.

මේ තුළින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට තීන්දුවක් ලබාදෙන මෙන් ද ඇය තම පෙත්සමෙන් ඉල්ලා ඇත.

Read more

Local News