මංගලගේ සීනි බෝල අයවැය ගම්මන්පිල කියයි

Share

අයවැයෙන් සහන මල්ලක් ලැබේවී යැයි ජනතාව බලාපොරොත්තු වුවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදයට නටන වත්මන් ආණ්ඩුවෙන් මීට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු නොවිය හැකි බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මේ බව පැවසීය.

“ඊයේ (06) එජාප මන්ත්‍රිවරු මැති සබයට ආවේ ජනතාව පීඩාවට පත් කරන ජීවන වියදමට සහනයක් අරගෙන උජාරුවට ජනතාව අතරට යෑමේ සිහිනය සමගයි.

නමුත් ඒ අය ගෙදර ගියේ බලාපොරොත්තු සුන් වෙලා කන් කඩා වැටිලා.

මැතිවරණ වසරක් නිසා සහන මල්ලක් ලැබේවි කියා කවුරුත් බලාපොරොත්තු වුණත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පදයට නටන මේ ආණ්ඩුවෙන් මීට වඩා වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. මේ ආණ්ඩුව ඉන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය උගුලක සිර වෙලා.

මේ අයවැයේ ඉලක්කම් බොරු කියලා බොහොම වගකීමෙන් මම ප්‍රකාශ කරනවා.  ආණ්ඩුවේ ආදායම 2018 දී බිලියන 2,025 සිට 2019 දී බිලියන 2,464 දක්වා 22%කින් වැඩි වන බවට ඇස්තමේන්තු කර තිබෙනවා.

නමුත් 2017ට සාපේක්ෂව 2018 දී ආදායම වැඩි වුණේ 5%ක් පමණයි නම් ඊටත් වඩා දුෂ්කර වන 2019 දී ආදායම 22%කින් වැඩි වෙනවා කියන්නේ කොහොමද? මොකද ඛනිජතෙල් මිල පවා තවදුරටත් වැඩි වෙනවා කියා ආණ්ඩුවම පුරෝකතනය කරනවා.

ඇත්තටම ආණ්ඩුවට ලැබිය හැක්කේ බිලියන 2,100 පමණ ආදායමක් පමණයි.  ආදායම බොරුවට වැඩි කරලා පෙන්වන්නේ අයවැය පරතරය අඩුවෙන් පෙන්වලා ණය ගැනීම් අඩුවෙන් පෙන්වන්නයි.  මේ අයවැය එකම ණය උගුලක්.

අයවැය වාරතාවේ හැටියට ණය ලබා ගත යුත්තේ බිලියන 2,079ක්.  බොරු ආදායම අඩු කරලා ඒක ණය වලට එකතු කළාම මේ වසර සඳහා ලබා ගත යුතු මුළු ණය ප්‍රමාණය බිලියන 2,443ක්.

නිදහස ලැබූ දවසේ ඉඳන් 2015  තුරු ආණ්ඩුව ලබා ගත් සියළුම ණය තිබුණේ ට්‍රිලියන 7යි.  මේ ආණ්ඩුව කාලය තුල ඒක ට්‍රිලියන 12 දක්වා වැඩි වුණා. දැන් 2019 වසරේ දී පමණක් ණය ප්‍රමාණය ට්‍රිලියන 2.5කින් වැඩි වෙනවා.

ඒ සමගම අපි රට භාර දෙන විට 72%ක්ව තිබුණු ණය බර 88% දක්වා ඉහළ නගිනවා. රාජපක්ෂ ණය උගුල කියලා බොරු කිව්වාට ඇත්තටම රට ණය උගුලක සිර කරන්නේ මේ ආණ්ඩුවයි.“

Read more

Local News