අල්ලස හා දූෂණය වැළැක්වීමට වන පස් අවුරුදු ජාතික සැලැස්ම එළිදැක්වීම 18 වනදා

Share

ශ්‍රී ලංකාව තුළින් අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා වන පස් අවුරුදු ජාතික සැලැස්ම මේ මස 18 වනදා කොළඹදී එළි දැක්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව අල්ලස් හෝ දූෂණ විමර්ශනය කිරීමේ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ අද(07) ජනමාධ්‍ය අමාත්‍යංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ජනාධිපති ලේකම් කාර්යාලය හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඒකරාශී කර ගනිමින් මෙම ජාතික සැලැස්ම සකස් කිරීමට කටයුතු කළ බවත් පසුගිය වසර පුරාම රට පුරා යමින් සම්මන්ත්‍රණ ගණනාවක් පවත්වමින් සියලු පාර්ශවයන් ආවරණය වන පරිදි මහජන අදහස් ලබා ගත් බවත්, කොළඹ නගරය තුළ පමණක් සම්මන්ත්‍රණ 15ක් පමණ පැවැත් වූ බවත් නීතිඥ සරත් ජයමාන්න මහතා පැවසීය.

පෙබරවාරි මස 06 වන දින කැබිනට් මණ්ඩලය විසින් අනුමත කල මෙම සැලැස්ම 2019 මාර්තු මස 18 වන දින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් එළි දැක්වීමට කටයුතු සූදානම් කර ඇත.

මේ සඳහා සියළු අංශ නියෝජනය කරමින් අමුත්තන් 1250ක් පමණ සහභාගී වීමට නියමිතය. මෙහිදී ජාතික වැඩපිළිවෙල සහ තවත් ග්‍රන්ථ 04ක් එළි දැක්වීමට කටයුතු යොදා ඇති අතර, මෙය සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම එළි දැක්වීමට බලාපොරොත්තු වේ.

තවද මෙම වැඩපිළිවෙල ජනතාව අතරට ගෙන යාම සඳහා අමරසිරි පීරිස් මහතා ගායනා කරන සුපිළිපන් හදවතින් ගීතය ජනගතකිරීමද මෙදිනට සිදු කිරීමට නියමිතය.

මෙහිදී තව දුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ 2017 වසරේ විත්තිකරුවන් 57 දෙනෙකු වරදකරුවන් බවට පත් වූ බවත් එය 2018 වසරේ පුද්ගලයන් 64 දෙනෙකු වරදකරුවන් බවට පත් වූ බවත් එය ඉතිහාසයේ වැඩිම වරදකරුවන් පිරිසක් අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව විසින් නීතිය ඉදිරියට ගෙනා අවස්ථාවක් බවත්ය.

Read more

Local News