“ත්‍රිපිටකාභිවන්දනා” සතිය නිමිත්තෙන් සර්වඥ ධාතු වන්දනා වැඩසටහන් රැසක්

Share

“ත්‍රිපිටකාභිවන්දනා” සතිය නිමිත්තෙන් දිවයින පුරා ස්ථාන කිහිපයක දී ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ, අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේ ඇතුළු ධාතුන්වහන්සේලා වන්දනාමාන කර ගැනීමට මහජනතාවට අවස්ථාව සලසා තිබෙන අතර එම ධාතුන් වහන්සේ වැඳ පුදාගැනීම වෙනුවෙන් මේ වන විට බැති සිතින් විශාල ජනතාවක් පෙළගැසෙමින් සිටී.

ත්‍රිපිටකාභිවන්දනා සතිය වෙනුවෙන් ඓතිහාසික මැදිරිගිරිය වටදාගෙය පුණ්‍ය භූමියේ පැවැත්වෙන ධාතු ප්‍රදර්ශනය ඊයේ(20) පෙරවරුවේ ආරම්භ කෙරිණි. වස්කඩුව රාජගුරු ශ්‍රී සුභූති මහා විහාරයේ සිට වැඩමකරවන ලද ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ මෙලෙස ඓතිහාසික මැදිරිගිරිය වටදාගෙය පුණ්‍ය භූමියේ දී ප්‍රදර්ශනය කෙරෙන අතර අද(21) සවස් වන තුරු එම ධාතුන් වහන්සේ වන්දනාමාන කර ගැනීමට ජනතාවට අවස්ථාව සලසා තිබේ.

මේ අතර ‘ත්‍රිපිටකාභිවන්දනා’ සතිය නිමිත්තෙන් ඇහැලියගොඩ තලාව ශ්‍රී විමලාරාම විහාරස්ථානයේ දී ද ධාතු ප්‍රදර්ශනයක් සංවිධානය කර තිබේ. කොළඹ මාළිගාකන්ද මහා බෝධි අග්‍රශ්‍රාවක විහාරස්ථානයේ සිට වැඩම කරවු අග්‍රශ්‍රාවක ධාතුන් වහන්සේ එහි දී මහජනතාවට වැඳ පුදා ගැනීමට අවස්ථාව සලසා ඇත.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ මැණික් රජමහා විහාරස්ථානයේ දී ත්‍රිපිටකාභිවන්දනා සතිය නිමිත්තෙන් ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ ප්‍රදර්ශනය කෙරේ.

කුරුණෑගල හෙන්ඩියගල පිරිවෙනේ සහ දංකොටුව පන්නල දේවරාජරාම විහාරස්ථානයේ දී ද ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමට ජනතාවට අවස්ථාව සලසා ඇත.

මේ අතර අම්පාර මහාවාපී විහාරස්ථානයේ දී ද සර්වඥධාතුන් වහන්සේ වැඳ පුදා ගැනීමට ජනතාවට අවස්ථාව සලසා තිබු අතර බංගලාදේශයේ චිතගොං විහාරස්ථානයේ සිට මෙරටට වැඩම කරවූ කේෂ ධාතු වහන්සේ එහි දී ප්‍රදර්ශනය කෙරිණි.
මෙලෙස එකම දිනවලදී දිවයිනේ විවිධ ස්ථානවලදී ශ්‍රී සර්වඥධාතුන් වහන්සේ වැඳපුදා ගැනීමට ඉඩකඩ සැලසීම ශතවර්ෂ ගණනකට පසු බැතිමතුන් ලද දුර්ලභ අවස්ථාවක් සේ සැලකේ.

“ත්‍රිපිටකාභිවන්දනා” සතියේ හය වන දිනය වන අද දින ජනාධිපති කාර්යාලය සහ සියලුම ආණ්ඩුකාර කාර්යාල එක්ව සංවිධානය කළ දානමය වැඩසටහන් ස්ථාන කිහිපයක දී පැවැත් වේ.

Read more

Local News