විල්පත්තු විනාශයට එරෙහිව දැවැන්ත විරෝධතාවක්

විල්පත්තු වන සංහාරයට එරෙහිව දැවැන්ත විරෝධතාවක් සංවිධානය කරන බව විල්පත්තුව සුරකිමු සංවිධානය පවසයි.

එම සංවිධානයේ සභාපති පාහියංගල ආනන්ද සාගර හිමි පවසන්නේ, අඛණ්ඩව සිදු කෙරෙන වන විනාශය පිළිබඳ නවතම තොරතුරු මෑතකදී ලබා ගත් චන්ද්‍රිකා ඡායාරූප මඟින් අනාවරණය වී ඇති බවයි.

මෙවන් විනාශයක් සිදු වන බව දැනුවත්ව සිටින බලධාරීන් මුණිවත රැකීම අභාග්‍ය සම්පන්න තත්ත්වයක් බව ද ආනන්ද සාගර හිමියන් පෙන්වා දෙයි.

ආන්දෝලනයට තුඩු දී ඇත්තේ වනෝද්‍යානයට උතුරු දෙසින් පිහිටි වන රක්ෂිතය බව ද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයා සඳහන් කරයි.

කෙසේවෙතත් අදාළ භුමි ප්‍රදේශය රක්ෂිතයක් ලෙස ගැසට් කර ඇති හෙයින් එළිකිරීම නීති විරෝධි බව වනජිවී දෙපාර්තමේන්තුව පෙන්වා දෙන අතර ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම ඇත්තේ වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට බව වනජිවි දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයකු සඳහන් කරයි.

කෙසේ වෙතත් විල්පත්තු රක්ෂිතයේ සිදු කෙරන වන විනාශය මේ වන විටත් අඛණ්ඩව සිදු කෙරෙමින් පවතින බව ශ්‍රී ලංකා පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක ආචාර්ය රවීන්ද්‍ර කාරියවසම් මහතා පවසා සිටියේය.

වත්මන් රජය මඟින් ක්‍රියාත්මක කෙරෙන ව්‍යාපෘතියක් යටතේ මෙම වන විනාශය සිදු කෙරන අතර ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවේ බලධාරීන් මුනිවත රැකීම සමස්ත ජාතියේම අභාග්‍යයක් බව හෙතෙම පවසා සිටියේය.

මේ අතර විල්පත්තු වන විනාශයට අදාළව විභාග වන නඩුවක් අභියාචනාධිකරණ හමුවේ හෙට (22) සළකා බැලෙන බව නාගහනන්ද කොඩිතුවක්කු මහතා පැවසුවේය.