ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම අද නිල වශයෙන් ප්‍රකාශයට පත් කරයි

Share

ථේරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ යෝජනාව ප්‍රකාශයට පත් කෙරෙන ජාතික පුණ්‍ය මහෝත්සවය අද(23) ශ්‍රී දළඳා මාලිඟාවේ මහ මළුවේදී පැවැත්වෙයි.

අද පස්වරු 2.00 ට අති පූජනීය ත්‍රෛනිකායික මහානාහිමියන් වහන්සේලා ප්‍රමුඛ සංඝරත්නගේ ප්‍රධානත්වයෙන් සහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වෙයි.

නිර්මල බුද්ධ ධර්මයෙහි චිරස්තිථිය සාක්ෂාත් කරනු වස් උතුම් ති‍්‍රපිටක ධර්ම දායාදය ජාතික උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිතුමා පසුගිය දා කටයුතු කළ අතර, ඉන් නොනැවතී උතුම් ති‍්‍රපිටකය තවත් වසර දහස් ගණනක් සුරක්ෂිත කරමින් ලෝක උරුමයක් බවට පත් කිරීමට පියවර ගෙන තිබේ.

මෙම ඓතිහාසික කටයුත්ත වෙනුවෙන් පසුගිය මාර්තු 16 වන දා සිට 23 වන දා දක්වා සතිය ති‍්‍රපිටකාභිවන්දනා, සතිය ලෙස ප‍්‍රකාශයට පත් කෙරුණු අතර එය මුල්කර ගනිමින් දිවයින පුරා ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබිණි.

ති‍්‍රපිටක ධර්ම දායාදය පිළිබඳ සහ අධ්‍යාත්මික ගුණවගාවෙන් යුත් යහපත් ජීවිතයකට මඟපෙන්වන බෞද්ධ දර්ශනය පිළිබඳව පාසල් දරුවන්ට හා ජනතාවට අවබෝධයක් ලබාදීමේ වැඩසටහන් සහ දානමය පුණ්‍ය කර්ම ඇතුළු ආගමික වතාවත් රැසක් ඒ හා සමගාමී ව දිවයින පුරා කි‍්‍රයාත්මක කෙරිණි.

අද පැවැත්වෙන ජාතික මහෝත්සවයට ත්‍රෛනිකායික මහා සංඝරත්නය මෙන් ම, ථෙරවාද බෞද්ධ රටවල සංඝරාජ හිමිවරුන් ද, එක්සත් ජාතින්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකා නිත්‍ය නියෝජිත හානා සිංගර් මහත්මිය ඇතුළු එක්සත් ජාතින්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයන් සහ විදේශ තානාපතිවරු, මහකොමසාරිස්වරු ඇතුළු දෙස් විදෙස් නියෝජිතයන් විශාල පිරිසක් එක්වීමට නියමිතය.

Read more

Local News