රටේ ඇති අභියෝග ජය ගන්න රාජ්‍ය සේවයේ පරිවර්තනීය වෙනසක් ඇතිවිය යුතුයි

Share

රට හමුවේ ඇති අභියෝග ජය ගැනීමට මෙරට රාජ්‍ය සේවයේ පරිවර්තනීය වෙනසක් ඇතිවිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

ඒ සඳහා නව දැක්මකින් යුතුව නව සැලසුම් සකස් කිරීම ඉතා අත්‍යාවශ්‍ය මෙන්ම හදිසි කටයුත්තක් වී ඇති බව ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ අද (28) පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ පැවති ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ 36 වන වාර්ෂික මහා සමුළුව අමතමිනි.

රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් රට නිදහස් කර ගැනීමට මෙරට පරිපාලන සේවය, සැලසුම් සේවය, ගණකාධිකාරි සේවය ඇතුළු රාජ්‍ය සේවයේ ඉහළ ක්ෂේත්‍ර ප්‍රමුඛත්වය ගතයුතු බව අවධාරණය කළ ජනාධිපතිතුමා වැටී ඇති ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීම දේශපාලනඥයන්ට පමණක් තනිව සිදුකළ නොහැකි බව කියා සිටියේය.

දැනට 30% ක් වන මෙරට රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාවය ඉදිරියේ දී අවම වශයෙන් 50%ක් දක්වාවත් වර්ධනය කර ගැනීමේ අවශ්‍යතාව අවධාරණය කළ ජනාධිපතිතුමා නැතහොත් රටක් ලෙස ඉදිරියට යන ගමන සාර්ථක කර ගත නොහැකි බව සඳහන් කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ සියලු ක්ෂේත්‍රවල අභිමානය සහ අයිතින් දිනාදීමට රජය කැපවී සිටින අතර, එහිදී සෑම ක්ෂේත්‍රයකම වෘත්තීය ඉල්ලීම් හැකි උපරිම අන්දමින් දිනාදීමට රජය කිසිවිටෙක පසුබට නොවන බවයි.

Read more

Local News