ශෂී වීරවංශගේ නඩු විභාගය 25 දාට කල්යයි

Share

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශ මහත්මියට එරෙහිව රහස් පොලීසිය විසින් ගොනුකර තිබෙන නඩුව අද(04) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි විභාගයට ගෙන තිබේ.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ නඩු විභාගය පැවතෙන අතර එහිදී නඩුවේ සාක්ෂිකරුවකු ලෙස නම් කර සිටි ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු සාක්ෂිකරුවන් දෙදෙනෙකුගෙන් සාක්ෂි සටහන් කරගැනීම අවසන් කර ඇත.

මෙහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප පිරිස් මහතා අධිකරණයට දන්වා සිටියේ මීළඟ නඩු දිනයේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කිරීමට අපේක්ෂා කරන බවය.

එමෙන්ම රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කළ ඉල්ලීමක් පිළිගත් මහෙස්ත්‍රාත්වරිය සාක්ෂිකරුවකු ලෙස නම් කර සිටින රජයේ අත් අකුරු පරීක්ෂකවරයාට ලබන 25 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින මෙන් දන්වා සිතාසි නිකුත් කර ඇත.

අනතුරුව වැඩිදුර විභාගය ලබන 25 වනදා ට කල් තබා ඇත.

ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර අවිධිමත් රාජතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම තුළින් ආගමන සහ විගමන පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කොට වීරවංශ මහත්මියට එරෙහිව පොලීසිය විසින් මෙම නඩුව පවරා ඇත.

Read more

Local News