“රට වෙනුවෙන් එකට සිටිමු” මඩකලපුව වැඩසටහනේ සමාප්ති උත්සවය අද

Share

“රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික සංවර්ධන වැඩසටහනේ දෙවන අදියර පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් ආරම්භ කෙරුණු අතර එහි සමාප්ති උත්සවය සහ ප්‍රගති සමාලෝචන රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද(12) පෙරවරුවේ මඩකලපුව නගරයේ දී පැවැත් වේ.

ජනාධිපතිතුමාගේ උපදෙස් හා මඟපෙන්වීම පරිදි ජනාධිපති කාර්යාලය මෙහෙයවන ජාතික සංවර්ධන ව්‍යාපෘති සහ විවිධ අමාත්‍යාංශ විසින් ක්‍රියාත්මක කර තිබෙන ජාතික සංවර්ධන වැඩසටහන් හා සමාජ සුබසාධන වැඩසටහන් කාර්යක්ෂම හා ඵලදායීව ක්‍රියාත්මක කරමින් ග්‍රාමීය මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා ජනතාවට උපරිම මහජන සේවාවන් හා ප්‍රතිලාභ අත්කරදීම “රට වෙනුවෙන් එකට සිටිමු” වැඩසටහනේ අරමුණයි.

රාජ්‍ය ආයතනවලින් විසඳාගත යුතු මහජන ගැටලු හඳුනාගෙන රාජ්‍ය යාන්ත්‍රණය ඔස්සේ උපරිම කාර්යක්ෂමතාවයෙන් එම ගැටලු විසඳීමට කටයුතු කිරීම ද මෙම වැඩසටහන මඟින් සිදු වෙයි.

“රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික වැඩසටහනේ පළමු අදියර පසුගිය මාසයේ දී පුත්තලම දිස්ත්‍රික්ක කේන්ද්‍රකර ගනිමින් පැවැත්විණි.

වැඩසටහනේ දෙවන අදියර මඩකලපුව දිස්ත්‍රික්කය කේන්ද්‍රකර ගනිමින් පසුගිය අප්‍රේල් 08 වනදා ආරම්භ කෙරුණු අතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14ම ආවරණය කරමින් විවිධ වැඩසටහන් ඒ යටතේ ක්‍රියාත්මක කර තිබුණි.

එම වැඩසටහන් සඳහා විශාල මහජන සහභාගිත්වයක් දක්නට ලැබීම ද විශේෂත්වයකි.

ඉදිරියේ දී “රට වෙනුවෙන් එකට සිටිමු” ජාතික වැඩසටහන සියලු දිස්ත්‍රික්ක ආවරණය කරමින් ක්‍රියාවට නැංවීමට නියමිතය.

මේ අතර තාරුණ්‍යයේ අනාගත දොරටු විවෘත කෙරෙන, ස්මාර්ට් ශ්‍රී ලංකා, වෘත්තීය මාර්ගෝපදේශන ආයතන ජාලයේ මඩකලපුව දිස්ත්‍රික් වෘත්තීය මාර්ගෝපදේශන මධ්‍යස්ථානය ජනාධිපතිතුමා අතින් මඩකලපුව නගරයේ දී විවෘත කෙරේ.

Read more

Local News