තැලසිමියා දරුවන්ගේ ඇටමිදුලු බද්ධ කිරිම කඩිනමින් – රාජිත

Share

මහනුවර මහ රෝහල් භූමියේ ඉදිකෙරෙන මහල් 08 කින් යුත් තැලසීමියා වාට්ටු සංකීර්ණය කඩිනමින් ඉදිකිරිම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරින්ට උපදෙස් ලබා දී ඇත.

ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරිම සඳහා රුපියල් මිලියන 96 ක මුදලක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කොන්ත්‍රාත් සමාගම වෙත පසුගියදා ලබා දෙන ලදි.

මෙම වාට්ටු සංකීර්ණය ඉදිකිරීම සඳහා වැය කරන මුදල රුපියල් මිලියන 1700කි. ඉදිරි මාස 02 තුළ වාට්ටු සංකීර්ණය විවෘත කර තැලසීමියා රෝගීන් සඳහා ඇටමිදුලු බද්ධ කිරීම ආරම්භ කිරීම සෞඛ්‍ය අමාත්‍යවරයාගේ අරමුණයි.

මෙවැනි ඇටමිදුලු බද්ධ කිරිමක් පෞද්ගලික රෝහලක දී සිදු කිරිම සඳහා රුපියල් ලක්ෂ 40 කට අධික මුදලක් වැය වෙයි.

මෙම වාට්ටු සංකීර්ණය ඉදිකිරිම තුලින් ඇටමිදුලු බද්ධ කිරීමේ සැත්කමක් සිදු කිරීම සඳහා රජයට වැයවන මුදල රුපියල් ලක්ෂ 10 කටත් අඩු වෙයි.

දැනට දිවයින පුරා තැලසීමියා දරුවන් 3000 ක් සිටින අතර, ඔවුන්ට දිනපතා ඖෂධ හා එන්නත් ලබාදිය යුතු අතර, ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්ෂිකව වැය කරන මුදල රුපියල් මිලියන 1700 ක් බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

මේ වන විට කුරුණෑගල, අනුරාධපුරය, බදුල්ල, පොළොන්නරුව, අම්පාර, මඩකළපුව, මාතර, ගාල්ල සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලින් තැලසීමියා රෝගීන් වාර්තා වී ඇත. වැඩිම තැලසීමියා රෝගීන් වාර්තා වී ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයෙනි.

තැලසීමියා රෝගීන්ට ප්‍රතිකාර කිරිම සඳහා මේ වනවිට දිවයින පුරා ප්‍රතිකාර මධ්‍යස්ථාන14 ක් ස්ථාපිත කර ඇත.

Read more

Local News