අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිබල උත්පාදනයට බ්‍රිතාන්‍යයේ සහාය

Share

ඉදිරියේදී ඇතිවිය හැකි විදුලිබල අර්බුදයට විසදුමක් වශයෙන්, ඉවතලන ද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීමේ ක්‍රමවේදයක් ලංකාවට හදුන්වාදීමට බ්‍රිතාන්‍ය රජය සිය කැමැත්ත පලකර තිබේ.

විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා හමුවූ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් James Dauris මහතා, විෂයබාර අමාත්‍යවරයාට මේ පිළිබදව කරුණු ඉදිරිපත් කර ඇත.

දෛනිකව ඉහළ යන විදුලි ඉල්ලුමට සරිලන විදුලි සැපයුමක් වෙනුවෙන් අවම මිලක් සහිත පරිසර හිතකාමි විදුලි උත්පාදන ක්‍රමවේදයන්ට මේ වනවිට ශ්‍රී ලාංකීය විදුලිබල ක්ෂේත්‍රය යොමුවෙමින් පවතී. එම වැඩපිළිවෙලේ තවත් එක් වැදගත් සංදිස්ථානයක් වශයෙන් මෙම අපද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ ක්‍රමවේදය හදුන්වාදිය හැක.

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම මෙන්ම මිල අවම විදුලි උත්පාදන ක්‍රමය ජල විදුලි උත්පාදනය බවත්, මේ වනවිට දිවයිනේ පවතින්නාවු ජල මූලාශ්‍රයන්ගෙන් විදුලිය උත්පාදනය කළහැකි මට්ටමේ පවතින සියල්ල ඒ සදහා යොදාගෙන ඇති අතර දෛනිකව වර්ධන වන්නාවු විදුලි ඉල්ලුම සපුරාලීම පිණිස අපගෙ විදුලි බල ක්ෂේත්‍රය, මිල අවම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් වෙත මේ වනවිට යොමුවී ඇතැයි අමාත්‍යවරයා පැවසීය.

මේ ආකාරයෙන් ඉවතලන ද්‍රව්‍ය යොදාගනිමින් විදුලිය නිපදවීම තුළින් රටේ විදුලිබල ගැටළුවට මෙන්ම අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටළුවටද සතුටුදායක විසදුම් ලබාගත හැකි බව බ්‍රිතාන්‍ය මහකොමසාරිස්වරයාට පැවසීය.

ආසියානු කලාපයේ රටවල් අතරින් ශ්‍රී ලංකාව මේ වනවිට විදුලිබල සැපයුම අතරින් වඩාත් ප්‍රශස්ත මට්ටමක සිටින බවත්, ලංකාව විසින් විදුලි උත්පාදනය සඳහා මේ වනවිට යොදාගනු ලබන මිල අවම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් තුළින් පරිසර හානිය අවම වන අතර මිල අවම වීම මත පාරිභෝගිකයාටද එය සහනයක් වන බවත් පැවසූ මහකොමසාරිස්වරයා, සිය රටේ තාක්ෂණික ඥාණය උපයෝගි කරගනිමින් ඉවතලන ද්‍රව්‍ය තුළින් විදුලිය නිපවීම ශ්‍රී ලංකාව තුළ ප්‍රචලිත කිරීමෙන්, ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයට, විදුලි පාරිභෝගිකයාට මෙන්ම සමස්ත රට වැසියාටම එය කිහිප ආකාරයකින් සහනයක් වියහැකි බවත් පැවසීය.

දිනෙන් දින වර්ධනය වන ජනගහනය හමුවේ අපද්‍රව්‍ය ගැටලුවද ඉතාමත් උග්‍ර තත්ත්වයකට පත්වන අතර එම ප්‍රශ්නය මෙවැනි වැඩදායි මෙන්ම ලාභදායි මාර්ගයක් ඔස්සේ නිරාකරණය කරගැනීමට ලැබීම මහත් භාග්‍යයක් යැයි පැවසූ අමාත්‍ය රවි කරුණානායක මහතා, ඉවතලන ද්‍රව්‍ය උපයෝගී කරගනිමින් විදුලිය නිපදවම සම්බන්ධයෙන් හැකි ඉක්මණින් රජයේ මෙන්ම විදුලි ක්ෂේත්‍රයේ අදාළ නිලධාරීන් දැනුවත් කර, ඉදිරි වැඩකටයුතු දියත් කිරීමට තමා කැපවී කටයුතු කරන බවත්, ඒ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ පූර්ණ සහයෝගය තමා අපේක්ෂා කරන බවත් පැවසිය.

Read more

Local News