ගෝඨාගෙන් නිවේදනයක්

Share

රටම කම්පනයට පත්ව ඇති මේ මොහොතේ අපගේ ආත්ම විශ්වාසය සියල්ලන්ටම ඉහළින් තිබෙන බව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්විය යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය ‍රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ(21) දිනයේ දී දිවයින පුරා සිදුවු පිපිරීම් පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කර තිබේ.

ලොව පුරා කිතුණු බැතිමතුන්ට අතිශය සංවේදී දිනයක් වන පාස්කු ඉරිදාවේ ශ්‍රී ලංකා‍ව තුළ සිදුවු ත්‍රස්ත ක්‍රියාවන් ප්‍රතික්ෂේප කිරීම සහ හෙළා දැකීම ශිෂ්ට සම්පන්න සමාජයක මුලික වගකීමක් බව ද එම නිවේදනයේ දැක්වෙයි.

එම බියගුළු, මිලේච්ඡ ප්‍රහාර පිළි‍කුලෙන් යුතුව බැහැර කළ යුතු බව ද ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි.

“මෙම අන්තවාදී ත්‍රස්ත ක්‍රියාවෙන් ජීවිත අහිමි වු සියලු දෙනා වෙත මම මාගේ සාතිශ්‍ය කණගාටුව ප්‍රකාශ කරන්නෙමි.

එමෙන්ම, එම ප්‍රහාරයන්ගෙන් ඔත්පළව ප්‍රතිකාර ගනු ලබන සියලු දෙස් විදෙස් පුරවැසියන්ට කඩිනම් සුවය ලැබේවා යන්න සමස්ත දේශයේම පොදු ප්‍රාර්ථනාව විය යුතු බව ද යෝජනා කරන්නෙමි.

විනාශ කරනු ලැබු දේවස්ථාන සහ දේපළ කඩිනමින් පුනරුත්තාපනය කිරීමේ රාජ්‍ය වගකීම් පිළිබඳව ද මේ මොහොතේ අවධාරණය කළ යුතුයි.

තිස් වසරක කුරීරු යුද්ධයක් අවසන් කොට නිදහසේ හුස්මගත් ශ්‍රී ලාංකේය ජනතාවගේ හෘදස්පන්දනය මොහොතකට අත්හිටුවනු ලැබු එම කුරීරු ප්‍රහාරය සීලාචාර සමාජය නැවතත්, නැවත නැවතත්, සනාථ කරනු ලබන්නේ කුමන මුහුණුවරකින් හෝ දියත් කරනු ලබන ත්‍රස්ථවාදයට සිත්පිත් නැති බව පමණි.

ලොව ප්‍රධාන පෙළේ බුද්ධි සේවාවන්ට නොදෙවෙනි ලෙස ශ්‍රී ලංකා බුද්ධි ‍සේවාවන් ගොඩනගමින් සිංහල, දමිල, මුස්ලිම් ප්‍රධාන සියලු ශ්‍රී ලාංකීක ප්‍රජාවගේ ආරක්ෂාව සහතික කරනු ලැබු ගෞරවණීය අතීතය,අප දෑස් ඉදිරිපිට දීම අගෞරවයට පාත්‍රවීම හරහා අප තුළ මතුව ඇත්තේ කම්පනයකි.කණගාටුවකි.වේදනාවකි.එහෙත්, එකී කණගාටුව හා වේදනාව අයෝමය ලෙස ධෛර්යයකට පරිවර්තනය කර ගත යුතු මොහොතකි මේ එළඹ ‍තිබෙන්නේ.

සියලු ‍ජාතීන්ට, සියලු ආගමික ලබ්ධිකයන්ට තම ආත්ම ගරුත්වය ආරක්ෂා කර ගනිමින් සුරක්ෂිතව ජිවත් විය හැකි ආදරණීය ශ්‍රී ලංකාවක් නිර්මාණය කර ගැනීම අද දවසේ අත්හැරිය නොහැකි අප ප්‍රමුඛ වගකීම විය යුතු වේ.

කුමන බාධා පැමිණිය ද අද දවසේ අත්හැරිය නොහැකි අප ප්‍රමුඛ වගකීම විය යුතු වේ.

කුමන බාධා පැමිණිය ද ඒ උතුම් අරමුණ වෙනුවෙන් ඒකාත්මික වීම මව්බිමට එ‍රෙහි ඕනෑම බලවේගයක් පරාජය කළ හැකි පහසුම මඟ බව මා අත්දැකීමෙන් ප්‍රත්‍යක්ෂ කොට ගෙන ඇත.

මව්බිමට විෂකුරු වු සියලු බලවේග දමනය කිරීම සඳහා යෝධ බලය හා ශක්තිය නිර්මාණය වනුයේ එමඟිනි.

ර‍ටම කම්පනයට පත්ව ඇති මේ මොහොතේ අපි අපගේ ආත්ම විශ්වාසය සියල්ලටම ඉහළින් තිබෙන බව ක්‍රියාවෙන් ඔප්පු කර පෙන්වමු.

ආගමික නායකත්වය, දේශපාලනය, නායකත්වය සහ සමාජ නායකත්වය ශ්‍රි ලාංකීය පුරවැසි සමාජයට මේ මොහොතේ ලබා දිය යුතු පරමාදර්ශය එයයි.

අපි ජාතික ධජය සෙවණේ එක්සත්ව, එක්සිත්ව මව්බිම වෙනුවෙන් නැඟී සිටිමු.”

Read more

Local News