කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්වූ 27 දෙනෙක් දිවයිනට

Share

කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් විවිධ කරදරවලට ලක්වූ 27 දෙනෙක් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ මහත්මියගේ මැදිහත්වීම මත ඊයේ(14) දින උදෑසන 6.30ට ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යානයකින් දිවයිනට පැමිණියහ.

මෙම පිරිස අතරින් 4 දෙනකු සංචාරක වීසා මඟින් රැකියාව සඳහා කුවේට් රටට ගොස් තිබේ. මෙසේ පැමිණි 27 දෙනාම කාන්තාවන් වන අතර ඔවුන් දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ. මොවුන් සේවා ගිවිසුම ඉක්මවීම, සහ රැකියා ස්ථානයේ සිදුවූ විවිධ කරදර හේතුවෙන් සුරක්‍ෂා නිවාසයට පැමිණ ඇත. මෙම පිරිස අතුරින් ශ්‍රමිකයින් 11 දෙනකු සඳහා ගමන් ගාස්තු සහන පියස සුබසාධන මධ්‍යස්ථානය මඟින් ලබාදුන් අතර, ශ්‍රමිකයින් 18 දෙනකු සඳහා රක්ෂණ වන්දි ලබාගැනීමට උපදෙස් දෙන ලදී. මෙම පිරිස අතුරින් කාන්තාවන් දෙදෙනකු අසනීප තත්ත්වයේ පසුවෙති.

2016 වසරේ මෙසේ විවිධ කරදරවලට ලක්වූ 1324 දෙනකු ගෙන්වා ගෙන ඇති අතර, ඒ සඳහා කුවේට් ඩිනාර් 17,392ක වියදමක් දරා ඇත. 2015 වසරේ ලාංකිකයන් 2873 දෙනකු දිවයිනට ගෙන්වා ගන්නා ලදී. ඒ සඳහා කුවේට් ඩිනාර් 57,285ක වියදමක් කාර්යාංශය මඟින් දරා ඇත.

මේ වන විට කුවේට් රජය මඟින් පවත්වාගෙන යනු ලබන සුබසාධන කඳවුරෙහි ශ්‍රී ලාංකිකයන් කිසිවකු නොමැති අතර, කුවේට් සුරක්ෂා නිවාසයේ කාන්තාවන් 85ක් පමණක් ඉතිරිව සිටින බැවින් එම පිරිස ද කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස අමාත්‍යතුමිය විසින් තානාපති කාර්යාල නිලධාරීන්ට උපදෙස් දී තිබේ. ඊට අමතරව නීතිමය කටයුතු සිදුකෙරෙන හා සිය හාම්පුතා විසින් පොලිස් පැමිණිලි කර ඇති ශ්‍රමිකයන් සෑම සතියකම අඟහරුවාදා දින එරට පොලිසි මඟින් ලංකාවට එවීමට අදාළ කටයුතු කරන හෙයින් මෙම සියලුම ශ්‍රමිකයන් මෙම වසර අවසන් වීමට පෙර දිවයිනට ගෙන්වා ගැනීමට හැකිවනු ඇත.

 

Read more

Local News