ත්‍රස්ත ප්‍රහාරයෙන් මිය ගිය ගණන 253කට ආසන්නයි

Share

පාස්කු ඉරිදා එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව පුද්ගලයන් 253කට ආසන්න අගයක පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. ඊයේ වනවිට ප්‍රකාශ වූයේ මෙයින් මිය ගිය සංඛ්‍යාව පුද්ගලයන් 359ක් බවයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිවේදනය

ත්‍රස්තවාදී ප්‍රහාර වලින් 485 කට අධික සංඛ්‍යාවක් තුවාලකරුවන් ලෙස ශ්‍රී ලංකා ජාතික රෝහලට, දකුණු කොළඹ ශික්ෂණ රෝහලට, උතුරු කොළඹ ශික්ෂණ රෝහලට, රිඡ්වේ ආර්යා ළමා රෝහලට, මඩකළපුව ශික්ෂණ රෝහලට සහ මීගමුව මුලික රෝහලට ඇතුලත් කළ අතර අද දින (25) පෙරවරු 10 වන විට එම සංඛ්‍යාව 149 දක්වා අඩු වී ඇත.

මෙම 485 ක් පමණ වූ තුවාලකරුවන්ගෙන් මෙම රෝහල්වලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇත්තේ රෝගීන් 06 ක් පමණ වීම මෙම අතිශය කණගාටුදායක අවස්ථාවේ ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය පිළිබදව ආඩම්බර විය හැකි කාරණාවක් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මෙම ප්‍රහාර නිසා මියගිය සංඛ්‍යාව ප්‍රහාරයෙන් පසු දිනයේ දී (අප්‍රේල් 22) 280 කට වැඩි සංඛ්‍යාවක් වශයෙන් ප්‍රකාශයට පත් කෙරුනි. මෙම සංඛ්‍යාව සමන්විත වූයේ මඩකළපුව ශික්ෂණ රෝහලේ 26 ක්, මීගමුව මූලික රෝහලේ 102 ක්, උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ 07 ක්, දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ 03 ක් සහ කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය මෘත ශරීරාගාරයේ 140 ක් වශයෙනි.

මෙවැනි බෝම්බ පිපිරීම් වලදී මියයන සමහරුන්ගේ ශරීර විශාල වශයෙන් හානියට ලක්වන අතර, ඇතැම් සිරුරු විනාශ වීමටත්, කොටස්වලට කැඩී සම්පූර්ණ සිරුරු වශයෙන් හදුනාගත නොහැකි තත්ත්වයටත් පත්වෙයි. මේ අනුව මරණ සංඛ්‍යාව නිශ්චිත වශයෙන් ගණනය කිරීමේ අසීරුතාවයක් පවතින බැවින්, මරණ සංඛ්‍යාව සෑම දිනකම ප්‍රකාශයට පත් කෙරුනේ ආසන්න අගයක් ලෙසයි.

කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය මෘත ශරීරාගාරය හැරුණු කොට අනෙක් සියලුම රෝහල්වල මෘතදේහ ඥාතීන්ට බාරදීම ඉතා ඉක්මණින් සිදු කෙරුන අතර, කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය මෘත ශරීරාගාරයේ ද දිවා රෑ දෙකෙහිම විශේෂඥ අධිකරණ වෛද්‍යවරුන්‍, ගරු මහේස්ත්‍රාත්වරුන් සහ අනෙකුත් කාර්ය මණ්ඩල සේවයෙහි යෙදුන ද මෙම මෘත ශරීරාගාරයට රැගෙන එනු ලැබූ මෘතදේහ ස්වභාවයෙහි සංකීර්ණ තත්ත්වයන් නිසාම මෘතශරීර නිදහස් කිරීමට සාපේක්ෂ වශයෙන් වැඩි කාලයක් ගතවෙයි. මීට හේතු වනුයේ සියලුම විදේශීය ජාතිකයින්ගේ මළ සිරුරු මෙම මෘත ශරීරාගාරයට රැගෙනඒම, කොළඹ හෝටල් 03 හි පිපිරීම් නිසා මරණයට පත්වූවන්ගේ සිරුරු කැබලි වීම, සාපේක්ෂ වශයෙන් අනෙක් පිපිරුම් ස්ථානවලට වඩා වැඩිවීම වැනි කරුණුය. විදේශිකයින්ගේ සිරුරු බාරදීම සදහා ඔවුන්ගේ ඥාතීන් විදේශ රටවල සිට පැමිණිය යුතුය. එසේ නොපැමිණිනෙන්නේ නම් අදාල තානාපති කාර්යාල මගින් මෘත ශරීර හදුනාගත යුතු වෙයි. එමෙන්ම දේශීය විදේශීය බව සාමාන්‍යයෙන් සමෙහි වර්ණය අනුව සළකා බැලිය හැකි වුවත්, ආසියාතිකයින් සම්බන්ධයෙන් මෘත ශරීර හදුනාගැනීම නිශ්චිතව කළ නොහැකිය.

මෙම තත්ත්වයන් තුල කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය මෘත ශරීරාගාරයේ මෘත ශරීර එම සංකීර්ණ ක්‍රියාවලිය ඔස්සේ යෑමේ දී කැබලි වූ සිරුරු පිළිබද මුල් තක්සේරු නිවැරදි කිරීමේ දී අද (25) වනවිට එම මෘත ශරීරාගාරයේ මෘත ශරීර සංඛ්‍යාව 113 දක්වා අඩු වී ඇත. මඩකළපුව ශික්ෂණ රෝහලෙහි මුල දී මෘතශරීර 29 ක් වශයෙන් සටහන් වුවද ඉහත ආසන්න හේතු නිසාම අවසාන වශයෙන් මෘත ශරීර 26 ක් වශයෙන් සටහන් විය.

මේ අනුව අද (25) වනවිට පසුගිය ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලින් මියගිය සංඛ්‍යාව ආසන්න වශයෙන් 253 ක් පමණ වෙයි. මේ අනුව අපගේ මුල් ඇස්තමේන්තුව වූ 290 කට ආසන්න අගයේ සිට 253 ක ආසන්න අගයකට අඩු වී ඇති අතර, මාධ්‍යයේ පළ වූ ආකාරයට මළ සිරුරු සංඛ්‍යාව 359 නොවෙයි.

Read more

Local News