අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි

Share

ගිනිකොණ දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ, ශ්‍රී ලංකාවට ගිනිකොණ දෙසින් පවතින අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඊයේ(25) රාත්‍රී 08.30 වන විට පොතුවිල් සිට ගිනිකොන දෙසින් කි.මී 1050 පමණ දුරින් උතුරු අක්ෂාංශ 01.9 ත් නැගනහිර දේශාංශ 90.10 ත් ආසන්නව ස්ථානගතව පවතී.

මෙම පද්ධතිය ඉදිරි පැය 24 තුලදී ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙමින් වයඹ දෙසට ගමන් කර, ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළ තීරය ආසන්නයෙන්, ගමන් කරමින් සුළි කුණාටුවක් දක්වා වර්ධනය වේ යයි බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මඟින් මේ සම්බන්ධව නිකුත් කරන ඉදිරි නිවේදන පිළිබඳ අවධානය යොමුකරන ලෙස මහජනතාවගෙන් සහ ධීවර හා නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටී.

සබරගමුව, මධ්‍යම, දකුණු, ඌව, බස්නාහිර සහ වයඹ පළාත්වල සවස 2.00 න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැක.

ඇතැම් ස්ථානවලට මි.මී.75ක පමණ තරමක තද වර්ෂාපතනයන් ඇති විය හැකි අතර උතුරු සහ නැගෙනහිර වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදීත් වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමෙන්තුව පෙන්වා දෙයි.

ගිඟුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Read more

Local News