රටේ සෑම දරුවෙකුටම අධ්‍යාපන අයිතිය ලබාදීමට ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන්ට පමණක් නොව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ද සෑම රජයක්ම බැඳී සිටිනවා – ජනපති

Share

මහනුවර පුෂ්පදාන බාලිකා විද්‍යාලයේ 75 වන සංවත්සර සැමරුම් උත්සවයට සහ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට ඊයේ (15) පෙරවරුවේ එක්වු ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළේ, රටේ සෑම දරුවෙකුටම අධ්‍යාපන අයිතිය ලබාදීමට ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන්ට අනුව පමණක් නොව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව ද සෑම රජයක්ම බැඳී සිටින බවයි.

පාසල වෙත ගිය ජනාධිපතිවරයා එම සිසු දැරියන් විසින් මහත් හරසරින් යුතුව පිළිගත් අතර බාලදක්ෂිකාවන්ගේ උත්තමාචාරය මෙන්ම ගුවන් ශිෂ්‍ය භට උත්තමාචාරය ද ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි. විද්‍යාලයේ විශිෂ්ටතා දැක්වූ දැරියන්ට තිළිණ ප‍්‍රදානය කෙරුණේ ද ජනාධිපතිවරයා අතිනි.

විද්‍යාලයේ 75 වන සංවත්සර උත්සවය නිමිත්තෙන් සමරු මුද්දරයක් සහ මුල්දින කවරයක් ද නිකුත් කෙරුණු අතර මධ්‍යම පළාත් නියෝජ්‍ය තැපැල්පති රාජිත රණසිංහ මහතා විසින් එය ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය. විදුහල්පතිනි ඊ.ඩබ්ලිව්.එල්.කේ. එගොඩවෙල මහත්මිය විසින් ජනාධිපතිවරයා වෙත ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වුවාය.

මෙහිදී ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළේ අද නගරයේ ප‍්‍රධාන පාසල් සඳහා පවතින තරගය හේතුවෙන් කොළඹ නගරයේ පදිංචි අඩු පහසුකම් සහිත නිවාසවල දරුවන් විශාල ප‍්‍රමාණයකට තම ආසන්න පාසලට ඇතුළුවීමේ අවස්ථාව අහිමිව ඇති බවයි.

දිවයිනේ සියලූ පාසල් සඳහා අවශ්‍ය භෞතික සහ මානව සම්පත් නොඅඩුව ලබාදීමට රජය කටයුතු කරන්නේ ප‍්‍රධාන පාසල් සඳහා පවතින තරගකාරිත්වය අවම කර සියලූ දරුවන්ට බාධාවකින් තොරව අධ්‍යාපන අයිතිය ලබාදීමට බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා අධ්‍යාපනයේ තරගකාරිත්වය තුළ පවතින මෙම අයහපත් තත්ත්වයන් වහා නිවැරදි විය යුතු බව ද ප‍්‍රකාශ කළේය.

විභාග ජයගන්නවා සේම සමාජයේ තිබෙන අභියෝග සහ බාධාවන් තේරුම් ගනිමින් ආත්ම විශ්වාසයෙන් සහ ආත්ම ශක්තියෙන් ජීවිතයට මුහුණදී ජීවිතය ද ජය ගැනීමට දරුවන් කටයුතු කළයුතු බව සිසු දැරියන් ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේය.

Read more

Local News