ප්‍රහාර නිසා සංචාරක කර්මාන්තයට ඇ.ඩො බිලියන 1.5ක් අහිමි වීමේ අවධානමක්

Share

පාස්කු ඉරිදා ප්‍රහාරය හේතුවෙන් මෙරට සංචාරක කර්මාන්තයට ඇමෙරිකන් ඩොලර් බිලියන 1.5ක පමණ ආදායමක් අහිමි වීමේ අවධානමක් ඇති බව මුදල් අමාත්‍ය මංගල සමරවීර කියයි.

අද(26) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පවසා තිබේ.

මෙම ප්‍රහාරය සමඟ ජාත්‍යන්තර ත්‍රස්ථවාදයේ ඉලක්කයක් බවට පත්වු බව ද අමාත්‍යවරයා පැවසීය.

30 වසරක යුද්ධයට මුහුණ දුන් ලංකාව එය පරාජය කර නැවත වතාවක්  ප්‍රජාතන්ත්‍රවාදීව ශක්තිමත් ස්ථාවරභාවයට ගෙන යමින් සිටින මොහොතක බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

මුළු මහත් ලෝකයම මුහුණ පා තිබෙන ජාත්‍යන්තර ත්‍රස්ථවාදයට අද වන විට ලාංකීකයන් මුහුණ දී සිටින බවත්, කොතරම් හොඳ බුද්ධි අංශයක් ලෝකය පුරා පැවතියත් ඇතැම් අවස්තාවල ත්‍රස්ථවාදය හිස ඔසවා ඇති බවත්,  පැවසු අමාත්‍යවරයා මේ තුළින් නැවතත් යුද්ධයක් ඇති වෙන බව නොහැඟවෙන බව ද පැවසීය.

විශේෂයෙන්ම බුද්ධි අංශවලට දොෂ් කීමෙන් හෝ රජයට බැන වැඳීමට වැදගත් වන්නේ සියලු දෙනාගේ ආරක්ෂාව රැක ගැනීම බව ද පැවසු අමාත්‍යවරයා, යුද්ධයෙන් පසුව අප විසින් තහවුරු කර ගෙන තිබු සහෝදරත්වය රැක ගැනීම බව ද මංගල සමරවීර මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් පසුගිය ඔක්තෝබර් මාසයේ පිහිටවා ගත් ආණ්ඩුව පැවතියේ නම් මේ මොහොතේ කිසිදු රටක් අපට උදව් නොකරන ඇති බව ද පැවසු අමාත්‍යවරයා, අන්තවාදීන් පරාජය කරන්න සියලු දෙනා එක්විය යුතු බව ද සඳහන් කළේය.

රට තුළ ආර්ථිකය ස්ථාවර තත්ත්වයකට ගෙනැවිත් ඇති බවත් මාර්තු මාසයේ දී උද්ධමනය සියයට 2.9 ක් වැනි අවම තත්ත්වයක් පැවති බවත් පැවසු අමාත්‍යවරයා, පාස්කු දින ප්‍රහාරයෙන් බලාපොරොත්තු වු ආර්ථික පසුබෑම පැවති ආර්ථික ස්ථාවරත්වයෙන් ලබා ගැනීමට නොහැකි වු බව ද පැවසීය.

ප්‍රධානතම අභියෝගය වන්නේ සංචාරක ව්‍යාපාරය කඩා වැටීම බවත්, 2019 වර්ෂයේ හෝඳම සංචාරක රට ලෙස පත්වු ලංකාව විශාල වශයෙන් මේ තුළින් කඩා වැටුණ බව ද අමාත්‍යවරයා කියා සිටියේය.

සංචාරකයන් රටට පැමිණීම අඩුවන සෑම සියයට 10 කට ම  ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් පමණ පාඩුවක් සිදුවන බවත් මේ වසරේ එය සියයට 30 ක් පමණ විය හැකි බව විශ්වාස කරන බව ද අමාත්‍යවරයා පැවසීය.

එසේ වුවහොත් ඩොලර් මිලියන 1.5 ක පමණ පාඩුවක් සිදුවන නමුත් අනෙක් අතින් මෙවැනි ප්‍රහාර නිසා සංචාරක ව්‍යාපාර කඩා වැටුණු රටවල් ලෙස බැලීමේ දී රජයක් ලෙස ගන්නා තීරණ අනුව මෙම තත්ත්වය සිතනවාට වඩා ඉක්මනින් වෙනස් විය හැකි යැයි විශ්වාස කරන බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

විශේෂයෙන්ම ලාංකීකයන් ලෙස මෙම තත්ත්වය දුර දිග නොයවා දේශීය අන්තාවාදීන් ලෙස මැදිහත් නොවී වැඩ කිරීමෙන් රට ඉතා ඉක්මනින් යථා තත්ත්වයට පත් කළ හැකි බව ද අමාත්‍යවරයා පැවසීය.

21 වන දින පැවති තත්ත්වයට ඉතා ඉක්මනින් ලංකාව පත්  කිරීම බලාපොරොත්තුව බවත් අයෝජකයින්ට සියලු ආරක්ෂාව ලබා දෙන බව ද අමාත්‍යවරයා, ලංකාවේ ආයෝජනය කිරීමට බලාපොරොත්තු වන සියලු දෙනාට අප සමඟ එකතු වෙන ලෙස ද කියා සිටියේය.

Read more

Local News