ලංකාවේ සංචාරය කරන ඉන්දීය ජාතිකයින් එරට රජයෙන් උපදෙස්

Share

ශ්‍රී ලංකාවේ සංචාරය කරන ඉන්දීය ජාතිකයින් සඳහා එරට රජය විසින් උපදෙස් මාලාවක් නිකුත් කර ඇත.

පසුගිය 21 වැනිදා සිදුවු ත්‍රස්ත ප්‍රහාර මාලාව සැලකිල්ලට ගනිමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ (27) දිනයේ නිවේදනයක් නිකුත් කරමින් එරට වැසියන්ට දැනුම් දී ඇත්තේ අත්‍යවශ්‍ය කරුණකට හැරුණු විට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙසයි.

ප්‍රහාර මාලාවෙන් අනතුරුව ආරක්ෂක අංශ විසින් අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් සිදුකරන අතර රාත්‍රී කාලයේ පැනවෙන පොලිස් ඇදිරි නීතිය හේතුවෙන් ද ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී බාධා එල්ල විය හැකි බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සිය නිවේදනයෙන් පෙන්වා දී ඇත.

මේ වන විට ශ්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් අමෙරිකාව, බ්‍රිතාන්‍යය, කැනඩාව, ඔස්ට්‍රේලියාව ඇතුළු රටවල් ද එරට වැසියන්ට උපදෙස් මාලාවක් නිකුත් කර ඇති බව සඳහන්ය.

මේ අතර ශ්‍රී ලංකාවේ ත්‍රස්ත ප්‍රහාර මාලාව සිදුකළ සැකකරුවන්ට දකුණු ඉන්දියාවේ එවැනි කණ්ඩායම්වල සම්බන්ධයක් ඇති බවට ද ඉන්දීය ආරක්ෂක අංශ සැක පල කරයි.

ශ්‍රී ලංකාවේ පවතින ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඉන්දීය රජය මෙම නිවේදනය නිකුත් කර ඇත.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් විදෙස් ජාතිකයින් 40 දෙනෙකු ජීවිතක්ෂයට පත් වු අතර ඉන්දීය ජාතිකයින් 11 දෙනෙකු ඒ අතර වන බව විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

Read more

Local News