අනවසරෙන් මැණික් ගැරූ පහක් අත්අඩංගුවට

Share

විශාල පරිසර හානියක් සිදු කරමින් බලපත්‍රයක් නොමැතිව අනවසරෙන් මැණික් ගැරූ ජාවාරම්කරුවන් පස්දෙනෙක් මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරන රැසක් සමඟ අද(30) අලුයම සැකපිට අත්අඩංගුවට ගත් බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

නොර්වුඩ් පොලිස් වසමට අයත් පොට්රි වතුයායේ කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයට පොට්රි වතුයායේ සිට පහල ගලා බසිනා ඇළ මාර්ගයක් අසල ජාවාරම්කරුවන් විශාල පිරිසක් මැණික් ගරමින් සිටින බවට බුද්ධි අංශයට ලද තොරතුරක් මත නොර්වුඩ් පොලිසිය විසින් අද අලුයම මෙම වැටලිම සිදු කර ඇත.

වැටලිම සිදු කරන අවස්තාවේ ජාවාරම්කරුවන් 50 කට වැඩි පිරිසක් අනවසරෙන් මැණික් ගරමින් සිටි බවත්, ඉන් පස් දෙනෙකු පමණක් අත්අඩංගුවට ගැනිමට හැකි වු බවත්, සෙසු සැකකරුවන් පලාගිය බවයි වැටලිම සිදු කල නොර්වුඩ් පොලිසියේ නිලධාරින් කියා සිටියේ.

අත්අඩංගුවට ගත් ජාවාරම් කරුවන් පස්දෙනාගේ තොරතුරු ලබාගෙන පලා ගිය සැකකරුවන්ද අත්අඩංගුවට ගැනිමට මෙහෙයුමක් දියත් කරන බවයි වැටලිම සිදු කල නොර්වුඩ් පොලිසියේ නිලධාරින් කියා සිටින්නේ.

මෙම වැටලිමේදි ජල ඉසින වතුර මොටර් 4 ක්, ඇතුළු මැණික් ගැරිමට උපයෝගි කරගත් උපකරණ රැසක්ද නොර්වුඩ් පොලිසිය භාරයට ගෙන ඇත.

අත්අඩංගුට ගත් සැකකරුවන් බගවන්තලාව සහ නොර්වුඩ් ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් එම සැකකරුවන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව නොර්වුඩ් පොලිසිය පැවසිය.

Read more

Local News